''උතුර මලක් වගේ පිබිදෙනවා'' - මංගල


පවුල් ලක්ෂ හයකට සමෘද්ධි සහනාධාර ලබා දීමේ වැඩපිළිවෙළේ උතුරු පළාත් නිළ උත්සවයට සහභාගී වෙමිනි. උත්සවය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) යාපනය නගර සභා ක්‍රීඩාංගණයේ දී පැවැති අතර එහිදී අදහස් දැක්වූ අමාත්‍ය මංගල සමරවීර පැවසුවේ නුදුරේදීම තල් අරමුදල සඳහා සෑම පාර්ශ්වයකටම මුදල් බැර කිරීමේ ක්‍රමවේදයක් සකසන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, 

''අපි රජයක් විදියට කටයුතු කරන්නේ ප්‍රතිපත්තියක් මතයි. රටක් හැටියට දියුණු වන්නට නම්, සංවර්ධනය වන්නට නම් සංවර්ධනය රට පුරාම පැතිරෙන්න ඕනෙ. එහෙම නැතුව පසුගිය කාලෙ වගේ රටේ එක පළාතක්, එක දිස්ත්‍රික්කයක් සංවර්ධනය කරල හරි යන්නේ නැහැ.

2018 අයවැය මගින් උතුරේ සංවර්ධනය සඳහා අපි රුපියල් බිලියන 30ක් විතර වෙන් කරල තියෙනවා. තල් අරමුදල පිහිටුවන්නට අපි කටයුතු කළා. ඒ වෙනුවෙන් අපි රුපියල් බිලියන 3.5ක් වෙන් කළා. නුදුරේ දීම අපි මේ අරමුදල ජනාධිපති අරමුදල වගේ සෑම පාර්ශ්වයකට ම මුදල් බැර කරන්න පුළුවන් අරමුදලක් බවට පත් කරනවා.


ඊයේ මම යාපනේ ප්‍රදේශ කිහිපයක සංචාරය කරල ජනතාව සමග කතා කළා. මම දැක්ක දේ තමයි උතුර මලක් පිබිදෙනව වගේ පිබිදෙමින් තිබෙනවා. 2018 අයවැය මගින් රුපියල් මිලියන 1000ක් වෙන් කළේ උතුරේ සමූකාර ක්‍රමය වැඩි දියුණු කරන්නයි. ඉන් කුඩා කර්මාන්ත 50ක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කළා. මම එහි ප්‍රගතිය බලන්න ඊයේ පණ්ඩිතරප්පු ප්‍රදේශයට ගියා. ඉතාම හොඳින් ඒ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මෙවර අයවැය මගින් ද මේ සදහා අපි රුපියල් මිලියන 750ක් වෙන් කරල තියෙන්නේ."