අගමැති නරේන්ද්‍ර මෝදි දිවයිනට



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ විශේෂ ආරාධනය පරිදි දිවයිනට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි  සහ ජනාධිපති අතර නිල හමුව අද (09) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉන්දීය අගමැතිවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ආචාර වෙඩිමුර සහිත හමුදා උත්තමාචාර පිළිගන්වමින් මහත් හරසරින් මෙම පිළිගැනීම සිදු විය.

දෙවන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි ඉන් අනතුරුව පළමු රාජ්‍ය තාන්ත්‍රික හමුවට එක් වූයේ ද  මෛත්‍රීපාල සිරිසේන සමඟ වන අතර එම හමුවේ දී ජනාධිපති විසින් ඉන්දීය අගමැතිවරයා වෙත මෙම නිල ආරාධනය පිළිගන්වනු ලැබීය.

එමෙන්ම පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු විදේශීය රාජ්‍ය නායකයා වන්නේ ද ඉන්දීය අගමැතිවරයා යි.

ජනාධිපති කාර්යාලයේ පැවති අභිමානවත් පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ජනාධිපති මන්දිරය වෙත පැමිණි නායක දෙපළ එහි දී සාකච්ඡාවලට එක් වූහ.

ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව රට තුළ නොසන්සුකාරී තත්ත්වයක් මතුව ඇති අවස්ථාවක තම රටට පැමිණ ලෝකයට ලබාදුන් පණිවිඩය පිළිබඳ මෙහි දී පළමුව ජනාධිපති, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පිරිනැමීය.

ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ අසල්වාසී මිත්‍ර රාජ්‍යයන් ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති ශක්තිමත් සහ විශ්වසනීය සබඳතාවය ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයෙන් වඩාත් පිළිබිඹු වන බවයි.

එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෙම සංචාරය ශ්‍රී ලංකාවේ ආර්ථික, වෙළෙඳ මෙන්ම සංචාරක ක්ෂේත්‍රවල උන්නතියට වඩා යහපත් තත්ත්වයක් වනු ඇති බව ද ජනාධිපති සඳහන් කළේය.


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙහි දී සඳහන් කළේ සහෝදර සහ මිත්‍ර රාජ්‍යයන් වල යුතුකම වන්නේ අසීරු අවස්ථාවල අත නොහැර එකිනෙකාට උපකාර කර ගැනීම බවයි.

ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස තමන්ට සිදු කළ ආරාධනය පිළිගත්තේ මහත් සතුටින් බව පැවසූ නරේන්ද්‍ර මෝදි  ඉන්දියාව ශ්‍රී ලංකාව කෙරෙහි තබා ඇති විශ්වාසය ඉදිරියට ද එලෙසම බව කියා සිටියේය. එමෙන්ම සියලු පාර්ශ්වයන්ගේ සහය ඇතිව සියලු ජන කොටස් වෙනුවෙන් යුතුකම් ඉටු කරමින් මෛත්‍රීපාල සිරිසේන  රට තුළ ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද නරේන්ද්‍ර මෝදි  සිය සතුට පළ කළේය.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නංවාගැනීම සහ කලාපීය ආරක්ෂාව මෙන්ම සාමය සහ ස්ථාවරත්වය පිළිබඳව ද නායක දෙපළ අතර සාකච්ඡා වූහ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන දෙරටම ත්‍රස්ත ප්‍රහාරවලට ලක් වූ රටවල් වන අතර කුමන අන්දමේ හෝ ත්‍රස්ත ප්‍රහාරයක් තරයේ හෙළා දකින බව අවධාරණය කළ නායකයෝ ත්‍රස්තවාදය දුරලීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව වැඩිදියුණු කළයුතු බවට ද එකඟ වූහ.


ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ගැඹුරු මිත්‍රත්වය පදනම් වී ඇත්තේ අන්‍යෝන්‍ය විශ්වාසය, අන්‍යෝන්‍ය ගරුත්වය සහ එකිනෙකාට සහය දැක්වීමේ ප්‍රතිපත්තිය මත බව ද මෙහිදී සඳහන් කෙරිණි. දෙරට අතර එම සුවිශේෂී සහ සබඳතාවය ඉදිරියේ දී තවදුරටත් ශක්තිමත් කර ගැනීමට නායකයෝ එකඟ වූහ.

තමන් වෙත දැක්වූ උණුසුම් පිළිගැනීම සහ සත්කාර පිළිබඳ ජනාධිපති වෙතත් ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙතත් සිය ස්තූතිය පුද කිරීමට ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී කටයුතු කළේය.

මේ අතර මෙම සංචාරය සනිටුහන් කරමින් ජනාධිපති මන්දිර පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමට ද නායක දෙපළ එක් වූහ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය සිහිපත් කරමින් අද දින නායක දෙපළ ලබාගත් ඡායාරූපයක් සහ පසුගියදා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පදවි ප්‍රාප්ති උලෙළේ දී ලබාගත් විශේෂ ඡායාරූපයක් මෙහිදී ජනාධිපති විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වීය.