වරාය විකිණීමේ නායකයා රනිල් වික්‍රමසිංහ බවත් ජනාධිපතිවරයා මේ ගැන කිසිදු අදහසක් පළකර නැති බවත් දේශප්‍රේමය ගැන කතාබහ කරන මහින්ද රාජපක්ෂ මෙහිදී නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවත් ඉදිරියේදී චීන හා ඉන්දීය හමුදා රටට ඇතුළු වීමේ සූදානමක් ඇති බවත් අද (17) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත පැවසුවේය.
මෙම මාධ්‍ය හමුවට සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි, ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල්, සමස්ත ලංකා සුවසේවා සම්මේලනයේ සභාපති සමන්ත කෝරලේආරච්චි, සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ලේකම් චන්ද්‍රසිරි මහගමගේ යන වෘත්තීය සමිති නායකයෝද සහභාගි වූහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලාල් කාන්ත පැවසුවේ,
ආණ්ඩුවේ ප්රයත්නය පරාජය කරන්න පෙරට එන්න
''ආණ්ඩුව, රජයේ සම්පතක් වූ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට දරණ ප්රයත්නය පරාජය කරන්න පෙරට එන්න කියලා වගකිව යුත්තන්ට සහ රටේ ජනතාවට අපි පක්ෂයක් ලෙසත් වෘත්තීය සමිති ව්‍යාපාරය ලෙසත් ආරාධනා කරනවා. මේ ආණ්ඩුව හම්බන්තොට වරාය වික්කා. ඒක වික්කාම කොළඹ වරායට හොඳයි කිව්වා මොකද හම්බන්තොට වරාය නඩත්තු කළේ කොළඹ වරායෙන් නිසා. ආණ්ඩුව ඒ වෙලාවේ කිව්වේ කිව්වේ ඒ මුදලින් කොළඹ වරයේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කරනවා කියලා. මේ වෙනකොට දකුණු කොළඹ වරායත් විකුණලා තියෙන්නේ. නැගෙනහිර ජැටිය පමණයි කොළඹ වරායට තිබුණේ. ජය බහලුම් පර්යන්තය තිබුණට එකේ පර්යන්ත කටයුතු සඳහා පහසුකම් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා වරාය අධිකාරිය විසින් මෙම නැගෙනහිර ජැටිය සංවර්ධනය කරගෙන ආවා. ඒ අතර තමයි රනිල් වික්‍රමසිංහ විසින් මේක ඉන්දියාව, ජපානය සහ වරාය අධිකාරිය එක්ව සමාගමක් බවට පත්කොට විකිණීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන්න කටයුතු කරමින් ඉන්නේ. මේ ප්රයත්නය පරාජය කළ යුතුයි.
මේ සටනේ ඉන්නේ වෘත්තීය සමිති විතරයි
මේ සම්බන්ධයෙන් අපේ පක්ෂයේ නායක අනුර දිසානායක සහෝදරයා මේ වන විට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ප්‍රශ්න කර තිබෙනවා. සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ලේකම් චන්ද්‍රසිරි මහගමගේ සහෝදරයා වරාය ඇතුලේ සටනක් ආරම්භ කරලා තිබෙනවා. නමුත් අපි කියන්න ඕනෑ අපේ වෘත්තීය සමිතිය විතරයි මේ වනවිට මේ සටනේ ඉන්නේ. අපි තනිවෙලා තිබෙනවා. මොකද අනෙක් වෘත්තීය සමිති එකක්වත් මේ සටන නියෝජනය කරන්නේ නැහැ. ඒක බරපතළ තත්වයක්. ඒ නිසා වරාය වෘත්තීය සමිති පැත්තකින් තියලා වරාය සේවකයින් ආමන්ත්‍රණය කරන්න අපි තීරණය කරලා තිබෙනවා. ඒ වගේම වරාය ඇතුලේ සේවකයින්ගේ මතය විමසන්න අපි තීරණය කරලා තිබෙනවා. ඒ සඳහා මේ වනවිට වරාය ඇතුලේ කටයුතු කෙරෙමින් තිබෙනවා.
මෛත්‍රීපාල සිරිසේන මේ ගැන මොකද කියන්නේ ?
දැන් ජනාධිපතිවරණයක් ගැන කතා වෙනවා. සමහර පුද්ගලයින්ගේ නම් කියවෙනවා, ජනාධිපති අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වෙනවා කියලා. අපි ඒ අයගෙන් අහන්න කැමතියි කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීම සම්බන්ධයෙන් ඒ අය කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම දැන් අපේ රටේ ජනාධිපතිවරයා ලෙස සිටින මෛත්‍රීපාල සිරිසේන මොකද මේ ගැන කියන්නේ. ඔහුගේ ප්‍රකාශ වගකීම් විරහිතයි කියලා සමාජ මතයක් තිබෙනවා. නමුත් තවමත් ඔහු අපේ රටේ ජනාධිපතිවරයා. කැබිනට් එකේ නායකයා. ඒ නිසා ඔහුගේ මතය රටට වැදගත්. ඒ නිසා අපි පක්ෂය ලෙසත් වෘත්තීය සමිති ව්‍යාපාරය ලෙසත් ඔහුගේ මතය රටට කියන්න කියලා ඉල්ලනවා.
වරාය විකිණීමේ නායකයා රනිල් වික්‍රමසිංහ
රනිල් වික්‍රමසිංහගේ මතය දැන් කවුරුත් දන්නවා. මොකද වරාය විකිණීමේ නායකයා රනිල් වික්රමසිංහයි. සමහරු කියනවා සාගල රත්නායක මේක අත්සන් කළා කියලා. නමුත් රටේ කවුරුත් දන්නවා සාගල රනිල්ට යටත් කියලා. මේ අවස්ථාව විතරක් නෙවෙයි රනිල් වික්‍රමසිංහ 2001 අගමැති වුණාට පස්සේ ‘යළි පුබුදමු ශ්‍රී ලංකා’ වැඩසටහන ගෙනාවේ සියල්ල පෞද්ගලීකරණය කරන්න. ඒ වගේම ඔහු මීට කාලයකට ඉහතදී එජාප ආණ්ඩුවක අධ්‍යාපන ඇමතිවරයා ලෙස සිටියදී අධ්‍යාපන ධවල පත්‍රිකාව ගෙනාවේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න. ඒ නිසා රනිල් වික්‍රමසිංහගේ ස්ථාවරය පැහැදිලියි. ධනවාදයේ දර්ශනය තමයි ලිබරල්වාදය. දැන් ක්‍රියාත්මක වෙන්නේ නව ලිබරල්වාදයයි. ලිබරල්වාදය ආර්ථිකයට සම්බන්ධ කළාම තමයි රජයේ සේවා පෞද්ගලීකරණය කිරීමේ ප්‍රතිපත්ති සකස් වෙන්නේ. ආණ්ඩුව සියල්ල අත්හරිනවා. බදුගැනීම පමණයි ආණ්ඩුව කරන්නේ. රනිල් වික්‍රමසිංහ කියන්නේ නව ලිබරල්වාදියෙක්. ඔහු ගැන කතා කරලා වැඩක් නැහැ. ප්රශ්නය තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයා පවා රනිල්ගේ මෙම නවලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය ගැන නිසි අධ්‍යයනයක් කරලා නොතිබීමයි.
තව මාස දෙක තුනකින් නැගෙනහිර ජැටිය විකුණනවා
දැන් මෙම නැගෙනහිර ජැටිය විකිණීම සඳහා එකඟතාවයක් අත්සන් කරලා තිබෙනවා. තව මාස දෙකකින් තුනකින් මේක විකුණනවා. එනිසා වගකිව යුතු දේශපාලඥයින් විසින් වරාය ආරක්ෂා ගැනීමට අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ඒ නිසා සටනක් අරඹන්න ඕනෑ. කොළඹ වරාය කියන්නේ ශ්‍රී ලංකාවේ හදවත කියලා තමයි කියන්නේ. මේ සටන මගහැරියොත් ශ්‍රී ලංකා වරාය අධිකාරියට වරායක් නැතිවෙනවා. ඒ සඳහා මේ අයගේ මතය රටට ප්‍රකාශ කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
දේශප්‍රේමය ගැන කතාකරන මහින්ද දැන් ගොළුවෙලා - සම්බන්ධන් නිතරම කතා කරන්නේ දෙමළ ජනතාවගේ අයිතීන් ගැන
මහින්ද රාජපක්ෂ නිතරම කතා කරන්නේ දේශප්‍රේමය ගැන. නමුත් දැන් ඔහු වරාය විකිණීම ගැන ගොළු වෙලා. නැගෙනහිර ජැටිය විකිණීම රට විකිණීමක් ලෙස නෙවෙයිද මහින්ද රාජපක්ෂ දකින්නේ. අපේ පක්ෂ නායක අනුර දිසානායක සහෝදරයාගේ මතය පැහැදිලියි. අපි පක්ෂයක් ලෙස වරාය ආරක්ෂා කිරීමේ සටනට අවතීර්ණ වෙලා ඉන්නවා. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ගේ මතය මොකක්ද? ඔහු මේ රටේ විපක්ෂ නායකවරයා වෙලත් හිටියා. ඔවුන් නිතරම කතා කරන්නේ දෙමළ ජනතාවගේ අයිතීන් ගැන. මේ වගේ ජාතික ප්‍රශ්න ගැන කතා කරනවා අඩුයි. අපි ඔවුන්ගේ මතය දැනගන්න කැමතියි. ඒ වගේම රාවුෆ් හකීම්ගේ මතය මොකක්ද? ඔහු නිතරම කතා කරන්නේ මුස්ලිම් ජනතාව ගැන. ඉස්ලාම් ආගම ගැන. ජාතික ප්‍රශ්න මඟහැරලා යනවා. නමුත් මේ ගැන කියන්නේ මොකක්ද කියලා රට දැනගන්න ඕනෑ. රිෂාඞ් බදුර්දීන් මේ ගැන මොකක්ද කියන්නේ කියලා ප්‍රකාශයක් කළ යුතුයි. ඒ වගේම තොණ්ඩමාන් ප්‍රකාශයක් කළ යුතුයි.
සජිත්ටත් රටේ ජාතික ප්‍රශ්න ගැන මතයක් නැහැ
ඒ වගේම මේ වනවිට ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් සිටින පිරිසක් ගැන කියවෙනවා. ඒ අතර ඉන්න කිහිපදෙනෙක්ගෙන් අපි අහනවා මෙම වරාය නැගෙනහිර ජැටිය විකිණීම ගැන මොකද කියන්නේ කියලා. කරු ජයසූරිය එජපයේ අපේක්ෂකයා ලෙස කතාබහක් තිබෙනවා. ඔහු සිය මතය ප්‍රකාශ කළ යුතුයි. ඒ වගේම සජිත් ප්‍රේමදාස ගැනත් කියවෙනවා. ඔහුටත් රටේ ජාතික ප්‍රශ්න ගැන මතයක් නැහැ. ඒ වාගේම පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයා ලෙස කියැවෙන ගෝඨාභය රාජපක්ෂ තම මතය ප්‍රකාශ කළ යුතුයි. ඒ වගේම ජනාධිපතිවරණයට රහසෙන් වැඩකරන බැසිල් රාජපක්ෂත් මේ ගැන මතය රටට ප්‍රකාශ කළ යුතුයි. මොකද මේ අයගේ මතය රටට වැදගත් නිසා.
හම්බන්තොට වරාය විකුණද්දි අපි සටන් කළා
නැගෙනහිර ජැටිය විකිණීම නතර කරන්න අපි තනිවම සටන් කළොත් ඒ සටන ජයගන්න බැරිවෙනවා. නමුත් මේ සටන ජයගත යුතුව තිබෙනවා. හම්බන්තොට වරාය විකුණනකොට අපි සටනක් කළා. ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළා. නමුත් විකුණන එක නතර කරගන්න බැරිවුණා. ඉඩම් ටිකක් බේරගන්න පුළුවන් වුණා. දකුණු කොළඹ වරාය චීනයට දුන්නා. නමුත් ඒ වෙලාවේ සැලකිය යුතු සටනක් පැනනැගුණේ නැහැ.
චීනයට අයිති දේපළ ආරක්ෂා කරගන්න චීන හමුදාව එවන්න සූදානම්
මෙතන තව ප්‍රශ්නයක් තිබෙනවා. දැන් චීනයට අයිති දේපළ ලංකාවේ තිබෙනවා. එම දේපළ ආරක්ෂා කරගන්න චීනය විසින් චීන හමුදාවක් ලංකාවට එවීම ගැන සාකච්ඡා ඇතිවෙලා තිබෙනවා. මෛත්‍රීපාල ජනාධිපතිවරයා චීනයට ගියපු වෙලාවේ ඒ සම්බන්ධයෙන් එකඟතාවයක් ඇතිවුනා කියලා වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම දැන් ඉන්දියාවට අයිති දේපළත් ලංකාවේ ඇතුලේ තිබෙනවා. ඒ නිසා අනාගතයේදී ලංකාවේ තිබෙන ඉන්දීය දේපළ ආරක්ෂා කරන්න කියලා ඉන්දියාවේ හමුදාවත් ලංකාවට එන්න ඉඩ තියෙනවා. මේක ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක්.
අපිට ස්වාධීනව නැගී සිටින්න ජාත්‍යන්තර ඉඩදෙන්නේ නැහැ
අපේ රටේ ගොඩක් සටන් තියෙනවා, රට ජාතිය රැකගැනීමේ සටන්. නමුත් එම සටන් ජාතික වශයෙන් ප්‍රමාණවත් නැහැ කියලා තමයි අපිට තියෙන අදහස. අපේ රටේ පිහිටීමත් එක්ක හොඳට හෝ නරකට අපේ රටට විශාල ප්‍රශ්න පැනනැගිලා තිබෙනවා. අපේ රටට ස්වාධීන ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස ස්වාධීනව නැගී සිටින්න ජාත්‍යන්තර බලවේග ඉඩ දෙන්නේ නැහැ. තමන්ගේ යටතට ගන්න උත්සහ කරනවා. ප්රශ්නය තිබෙන්නේ අපේ රටේ පාලකයෝ එම බලපෑම්වලට යටත් වෙලා ඉන්නේ. අපේ රටේ අවුරුදු 70ට වඩා වැඩි දේශපාලන පප්පලා ටිකක් තමයි මේ දේශපාලන තීරණ ගන්නේ. තවමත් දේශපාලනය අත්හැරලා යන්න හිතක් නැහැ. අන්තිම දවස් ටිකෙත් තාන්න මාන්න අරගෙන සැප විඳින්න තමයි කල්පනාව. ඒ නිසා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා, තරුණ තරුණියන්ගෙන් ඉල්ලනවා. මේ 40 දශකයේ 50 දශකයේ දේශපාලකයෝ අත්හරින්න කියලා. මේ අය තමයි අපේ රට විකුණන තීරණ ගන්නේ. ජාතිය දුබලත්වයට පත්කරනවා.
ත්‍රෛනිකායික ස්වාමීන්වහන්සේලත් මේ සටනට එක්විය යුතුයි
ඒ වගේම අපේ රටේ නායක ස්වාමින්වහන්සේලා රට ජාතිය බේරාගැනීමේ සටනක නිරත වෙලා ඉන්නවා. අපි උන්වහන්සේලාගෙන් ඉල්ලා සිටිනවා ඇත්තටම රට ජාතිය ගැන සටනක නම් ඉන්නේ වරාය විකිණීමට එරෙහි සටනට එකතු වෙන්න කියලා. ත්‍රෛනිකායික මහනායක ස්වාමින්වහන්සේලාගෙන් ඉල්ලනවා, මේ ගැන අවධානය යොමු කරන්න කියලා. ඒ වගේම අපේ රටේ කාදිනල්තුමාටත් ආරාධනා කරනවා මේ සටනට එකතු වෙන්න කියලා. අපි වරාය ඇතුළේ සටන ආරම්භ කරලා තිබෙනවා. මේ සටන ප්රගතිශීලී සටනක් කියලා හිතනවානම් රට ජාතිය ගැන හිතන සියලු දෙනාට මේ සටනට එකතු වෙන්න කියලා අපි ආරාධනය කරනවා.
එස්බී කියලා තිබුණා ජනාධිපතිවරයා සහ තවත් කිහිප දෙනෙක් මේ ගිවිසුමට එකඟ වුණේ නැහැ කියලා. අපේ රටේ කැබිනට් එකේ සාමූහිකත්වයක් නැහැ. ඒ නිසා අපි කියනවා ඇමතිවරුන්ට තමන්ගේ මතය රටට කියන්න කියලා. ඒ වගේම අපි කියනවා සියලුම මන්ත්‍රීවරුන්ට නැගෙනහිර ජැටිය විකිණීම ගැන තමන්ගේ මතය රටට කියන්න කියලා. ඒ වගේම මේ රටේ මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්ගෙන් අහන්න කැමතියි තමන්ගේ මතය මොකක්ද කියලා. මොකද මේ ජාතික සටනක් බවට පත්කළ යුතුව තිබෙනවා. සියලුම මාධ්‍යවේදීන්ගෙන් අපි ඉල්ලනවා, මේ සටන සඳහා සහයෝගය ලබාදෙන්න කියලා. මේ සටන අතහරින්න එපා. මේ සටනට අපි නායකත්වය දෙමින් සිටියත් අපි කියනවා මේ සටනේ නායකත්වය භාරගන්න කවුරුහරි ඉදිරිපත් වෙනවානම් අපි ඒකටත් සූදානම් කියලා.
සත්යග්රහ, උද්ඝෝෂණ දියත් කරන්න අපි සූදානම්
මේ සම්බන්ධයෙන් අපේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරයටත් සැලකිය යුතු කාර්යභාරයක් තිබෙනවා. ඒ නිසා වෘත්තීය සමිති ව්‍යාපාරය ලෙස අපි විවිධ සටන් ක්‍රියාමාර්ග රැසක් දියත් කිරීමට තීරණය කරලා තිබෙනවා. වරාය පිවිසුම් දොරටු අසල සත්යග්රහ ව්‍යාපාරය, කොටුවේ උද්ඝෝෂණ ක්‍රියාමාර්ග, මත විමසුම් ආදී ක්‍රියාමාර්ග රැසක් සංවිධානය කරලා තිබෙනවා. මේ විකිණීමේ ක්‍රියාමාර්ගය ආණ්ඩුව අත්හරින තුරු අපි මේ ක්‍රියාමාර්ග දියත් කරනවා. 21 ප්‍රහාරයෙන් පසුව අපේ රටේ ජාතික වීරයින් බිහිවුණා. අපි ඒ අයටත් මේ සටනට ආරාධනය කරනවා. සිංහල, දෙමළ, මුස්ලිම් කියලා භේදයක් නැතුව බෞද්ධ, ඉස්ලාම්, ක්‍රිස්තියානි කතා පැත්තකින් තියලා මේ සටනට එකතු වෙන්න සියලු දෙනාට සිදුවෙනවා. බිත්තියට හේත්තු කරනකොට බිත්තියට හේත්තුවෙලා ඉන්නේ නැතුව බිත්තියට කකුලක් තියලා මේ පාලකයින්ට ප්‍රහාරයක් එල්ල කරන්න ජනතාව පියවර ගත යුතු අවස්ථාව එළඹිලා තියෙන්නේ. නැත්නම් මේ පාලකයින් අපේ රට හපයක් බවට පත්කරනවා. මීළඟට රට හදන්න ඇත්ත වුවමනාවක් තියෙන කෙනෙක් ආවත් හදන්න දෙයක් ඉතිරි වෙන එකක නැහැ.‘‘ යන්නයි.
Post a Comment