සංහිඳියාව වෙනුවෙන් මෙරට දක්වන කැපවීම ඇමරිකාව අගයයි


විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන සහ දේශපාලන කටයුතු පිළිබඳ එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඩේවිඩ් හේල් සම සභාපතිත්වය දැරූ තුන්වැනි එක්සත් ජනපද-ශ්‍රී ලංකා හවුල්කාරීත්ව සංවාදය පසුගියදා (16) පැවතුණි. මෙහි ඒකාබද්ධ ප්‍රකාශය තුළ සංහිඳියාව, වගවීම, යුක්තිය, හා මානව හිමිකම් ප්‍රවර්ධනය කරන්නට මෙරට දක්වන කැපවීම විශේෂයෙන් ඇගයීමට ලක්කර ඇත. 

එමෙන්ම, ඉන්දියානු හා ශාන්තිකර සාගරවල සුරක්ෂිත සාමුද්‍රීය බලප්‍රදේශයක් සහතික කිරීමට ද මෙහිදී ගිවිස ගත්තේය.   

අදාළ ප්‍රකාශය, 

එක්සත් ජනපද-ශ්‍රී ලංකා හවුල්කාරීත්ව සංවාදය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපද හා ශ්‍රී ලංකා රජයන් විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය, 

''ප්‍රජාතන්ත්‍රවාදයට, මානව හිමිකම්වලට සහ නීතියේ ආධිපත්‍යයට ඇති සිය පොදු කැපවීම අනුව යමින් එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව විසින් 2019 මැයි 16 වැනි දින වොෂිංටන් නුවරදී තුන්වැනි එක්සත් ජනපද-ශ්‍රී ලංකා හවුල්කාරීත්ව සංවාදය කැඳවනු ලැබිණි.  ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන සහ දේශපාලන කටයුතු පිළිබඳ එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඩේවිඩ් හේල් යන මහත්වරු රැස්වීමෙහි සම සභාපතිත්වය දැරූහ.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය වශයෙන් තමන් සතු පොදු වටිනාකම් මත තිර ලෙස පදනම් වූ ද්විපාර්ශ්වික සබඳතාවෙහි වැදගත්කම යළි තහවුරු කළ රජයන් දෙක සිය හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා කටයුතු කිරීමට තමන් තුළ ඇති කැපවීම ප්‍රකාශ කළේය.

අප්‍රේල් 21 වැනිදා බියකරු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඇමෙරිකාව ශ්‍රී ලංකාව සමඟ ත්‍රස්තවාදයට එරෙහිව නැඟී සිටින බවද ශ්‍රී ලංකාවේ ප්‍රති-ත්‍රස්ත ප්‍රයත්නවලට සහය දෙන බවද පවසමින් ජනාධිපති ට්‍රම්ප් මහතා විසින් කරන ලද ප්‍රකාශය එක්සත් ජනපදය යළි අවධාරණය කළේය.  කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ලැබුණු බහුවිධ සහය සහ එෆ්බීඅයි ආයතනයෙන් ලබා දුන් විමර්ෂකයන්ද ඇතුළු එක්සත් ජනපදය විසින් ලබා දෙන ලද සහය සම්බන්ධයෙන්ශ්‍රී ලංකාව සිය ස්තූතිය පළ කළේය. අනාගතයේදී සහය ලබා දිය හැකි ක්ෂේත්‍ර පිළිබඳවද දෙපාර්ශ්වය සාකච්ඡා කළේය. පාස්කු දින ශ්‍රී ලංකාවේ ප්‍රහාර සිදු කළ ත්‍රස්තවාදීන් අයිසිස් සංවිධානයෙන් අනුප්‍රාණය ලැබූ බවක් පෙනෙන්නට තිබේ. මෙම සන්දර්භය තුළ, අයිසිස් සංවිධානය පරාජය කිරීම සඳහා වූ ගෝලීය සන්ධානය පිළිබඳව  ශ්‍රී ලංකාව දැනුම්වත් කරනු ලැබිණි. ශ්‍රී ලංකාව සමඟ ප්‍රති-ත්‍රස්ත මෙන්ම සාමුද්‍රික හා දේශසීමා ආරක්ෂක සහයෝගීතාව අඛණ්ඩව පුළුල් කිරීමට එක්සත් ජනපදය ඉදිරිපත් විය.

සාමය සහ ආරක්ෂාව පෝෂණය කිරීමටත්, ජාත්‍යන්තර නීති සහ සම්මුතීන් කෙරෙහි ඇති ගෞරවය සහතික කෙරෙන නීති මත පදනම් වූ ක්‍රමයක් මඟින් ඉන්දියානු හා ශාන්තිකර සාගරවල සුරක්ෂිත සාමුද්‍රීය බලප්‍රදේශයක් සහතික කිරීමටත් එක්ව කටයුතු කිරීම පිණිස එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අදිටන් කොට ගත්තේය. මෙම සන්දර්භය තුළ,  යාත්‍රා කිරීමට,  උඩින් පියාසර කිරීමට සහ බාධාවකින් තොරව වෙළෙඳ කටයුතු කිරීමට ඇති නිදහස සහතික කෙරෙන, නිදහස්, විවෘත හා සමෘද්ධිමත් ඉන්දු-ශාන්තිකර කලාපයක් කරා යන එක්සත් ජනපද උපාය මාර්ගය වැදගත් මුලපිරීමක් වශයෙන් හඳුනා ගැනිණි. සාමුද්‍රික ආරක්ෂාවේ සහ සුරක්ෂිතබවේ සහයෝගීතාව සහ හුවමාරුකිරීම් තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට ඇති පොදු ආධ්‍යාශයද ප්‍රකාශ කළ ඔවුහු, 2018 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය දරන ලද ඉන්දියානු සාගර සමුළුව තෘප්තියෙන් යුතුව සිහිපත් කළ අතර, අන්‍යොන්‍ය ප්‍රතිලාභය වෙනුවෙන් ආරක්ෂාව, ස්ථාවරබව, විනිවිදභාවය, හා ආර්ථික අවස්ථා වැඩි දියුණු කරලීමේ ඒකාබද්ධ මුලපිරීම් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට එකඟ වූහ.

සිය මුහුදු සීමා නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකාව සතු හැකියාව වැඩිදියුණු කිරීම, අවහරණය හා සෙසු නීතිවිරෝධී ක්‍රියාකාරකම් මැඬලීම, ඉන්දියානු සාගරයේ සිය මානුෂීය සහය සහ ආපදා ප්‍රතිචාර හැකියාව වර්ධනය කිරීම ආදිය සම්බන්ධයෙන් ඇති සිය අන්‍යොන්‍ය අභිලාෂයන් ප්‍රවර්ධනය කිරීම පිණිස එක්සත් ජනපද අතිරික්ත ආරක්ෂක උපකරණ වැඩසටහන හරහා ශ්‍රී ලංකාවට ලබාදුන් ලේකම් පන්තියේ දැඩි සංස්තිථි යාත්‍රාවේ ආගමනය ශ්‍රී ලංකාවේ ප්‍රසාදයට ලක් විය. බිම්බෝම්බ ඉවත් කිරීමට එක්සත් ජනපදය ලබාදෙන සහය, ඒකාබද්ධ හමුදා ක්‍රියාකාරකම්, ශ්‍රී ලංකාවේ සාමසාධක මෙහෙයුම්, ශ්‍රී ලංකා නිලධාරීන්ට මානව හිමිකම් පුහුණුව ලබාදීම සහ එක්සත් ජනපද නෞකා හා හමුදා නිලධාරීන්ගේ සංචාර ඇතුළුව දැනට පවතින ද්විපාර්ශ්වික ආරක්ෂක අංශ සහයෝගීතාව රජයන් දෙකෙහිම ප්‍රසාදයට ලක් විය. දෙරටේ හමුදා අතර ඇති සහයෝගීතාව පුළුල් කිරීමට එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව එකඟ විය.

කල්පවතින සාමය සහ සමෘද්ධිය උදෙසා සංහිඳියාව, වගවීම, යුක්තිය, හා මානව හිමිකම් ප්‍රවර්ධනය කරන්නට ශ්‍රී ලංකාව තුළ ඇති කැපවීම යළි අලුත්වීම එක්සත් ජනපද රජයේ  ප්‍රසාදයට ලක් විය. අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ විධිනියෝගය, හානිපූරණ කාර්යාලයක් පිහිටුවීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීම, ආරක්ෂක හමුදා විසින් භාවිතා කරන ලද පෞද්ගලික ඉඩම් යළි අයිතිකරුවන් වෙත ලබාදීම ඇතුළු මෙම ක්ෂේත්‍රවල අත් කරගෙන ඇති ප්‍රගතිය එක්සත් ජනපදය හඳුනා ගත්තේය.

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ ව්‍යවහාරයන්වලට, යහපාලනයට, නීතියේ ආධිපත්‍යයට, යුක්තියට සහ පාර්ලිමේන්තු ක්‍රියා පරිපාටිවලට තමන් තුළ ඇති කැපවීම ශ්‍රී ලංකා රජය අවධාරණය කළේය. මෙම ප්‍රතිඥා ක්‍රියාත්මක කිරීමේ වේගය පවත්වා ගන්නා ලෙසට එක්සත් ජනපදය ශ්‍රී ලංකාව දිරිමත් කළේය.

සාධාරණත්වය හා අන්‍යොන්‍යතාව යන මූලධර්ම මත පදනම් වූ ශක්තිමත් ආර්ථික හවුල්කාරීත්වයට සහ වර්ධනය වමින් පවතින ද්විපාර්ශ්වික වෙළෙඳාමට එක්සත් ජනපදය සහ   ශ්‍රී ලංකාව සිය සහයෝගය ප්‍රකාශ කර සිටියේය. සහස්‍රක අභියෝග සමායතන මණ්ඩලයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 480 ක් වටිනා ප්‍රදානයකට අනුමතිය ලබාදීම සම්බන්ධයෙන් රජයන් දෙකෙහි ප්‍රසාදය පළ විය. ඊට අදාළ ගිවිසුම අත්සන් කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය අපේක්ෂිතය.

සිය ද්විපාර්ශ්වික සබඳතාවෙහි වැදගත්කම එක්ව අවධාරණය කළ එක්සත් ජනපදය සහ  ශ්‍රී ලංකාව, අන්‍යොන්‍ය ප්‍රතිලාභය වෙනුවෙන් එක්සත් ජනපද-ශ්‍රී ලංකා හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට තමන් තුළ ඇති කැපවීම ප්‍රකාශයට පත් කළේය.‘‘ යන්නයි.