''බියෙන් සැකෙන් තොරව වෙසක් සමරන්න'' - අගමැති


කොළොන්නාව වෙසක් කලාපය විවෘත කිරීම අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) දින කොළොන්නාව, ඔර්ලෝසු කණුව අසලදී පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වූ අගමැතිවරයා පැවසුවේ, කිසිදු බියකින් සැකයකින් තොරව වෙසක් සැමරුම් සිදුකළ හැකි බවත් ආරක්ෂක අංශ ඊට උපරිම සහයෝගය ලබාදෙන බවත්ය. 

මෙහිදී සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනා කරමින් ආගමික වතාවත් සිදු කළ අතර මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්, කො‍ළොන්නාව නගරාධිපති ගුත්තිල සිල්වා ඇතුළු විශාල පිරිසක් සහභාගිවී සිටියහ. 

අගමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ, 

‘‘අද කොළොන්නාවේ වෙසක් කලාපය ආරම්භ කරනු ලැබුවා. මහනායක ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම පරිදි අප සියලූ දෙනාම ප්‍රතිපත්ති සහ ආමිස පූජාවට මුල් තැන දී වෙසක් පොහොය සැමරීම පිළිබඳ මෙම අවස්ථාව හොඳ උදාහරණයක් බව කිව යුතුයි. කිසිදු බිය සැකයකින් තොරව හෙට සහ අනිද්දා දිනයන්හි වෙසක් සැමරුම් කටයුතු සිදු කළ යුතුයි. 



විශේෂයෙන්, කිසිදු කරදරයකින් තොරව අපට වෙසක් උත්සවය සැමරීමට අවස්ථාව සලසා දෙන ලෙසට මම පසුගිය සඳුදා ආරක්‍ෂක අංශවලට දැනුම් දුන්නා. එම වැඩකටයුතු සාර්ථකව සිදුව තිබෙනවා. පාස්කු ඉරිදා දින බෝම්බ පිපිරීම සිදුකළ ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගනු ලැබුවා. එසේම පසුගිය සඳුදා ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ අයද අත්අඩංගුවට ගැනීමේ කටයුතු සිදුවෙනවා. එබැවින් ඉදිරි දින දෙක තුලදී ආගම දහම පරිදි වෙසක් පොහොය සමරන මෙන් මම ඔබ සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිනවා. අද දිනය බෞද්ධ හා බෞද්ධ නොවන සියලූ දෙනාද එක්වී මෙම වැඩකටයුතු සාර්ථකව සිදුකර තිබෙන බව පැවසිය යුතුයි.‘‘ යන්නයි.