අපරාධ මැඩලන සමාජයක් උදාකරලීමට ජනපති ප්‍රතිඥා දෙයි


අපරාධ වැඩිවීමට හේතුවන සමාජ තත්ත්වයන් වෙනස්කිරීම කෙරෙහි තමා දැඩි කැපවීමකින් කටයුතු කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන වෙසක් පොහොය නිමිත්තෙන් ජනපති පොදු සමාව යටතේ සිරකරුවන් 762කට නිදහස ලබාදීම වෙනුවෙන් අද (18) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාර කි‍්‍රඩාංගණයේ පැවැති උත්සවය අමතමින් පැවසුවේය. 

ජනාධිපතිවරයෙකු මෙවන් අවස්ථාවකට එක්වූ පළමු අවස්ථාව මෙය වන අතර, බන්ධනාගාර භූමියට ගොස් නිදහස ලබන රැඳවියන් ආමන්ත‍්‍රණය කළ ප‍්‍රථම අවස්ථාව ද මෙය යි. එමෙන්ම බන්ධනාගාර රැදවියන්ගේ හඬට ඇහුම්කන් දීමට ද ජනාධිපති මෙහිදී කටයුතු කළේය.

සිරකරුවන් 762 ක් නිදහස් 

සිරකරුවන් 736ක් සහ සිරකාරියන් 26 දෙනෙකු අද දින නිදහස ලැබූ අතර තමා අතින් නිදහස්වීමේ ලිපි ලැබූ සියලූ රැඳවියන්ගේ තොරතුරු විමසීමට ද අමතක නොකළ ජනාධිපතිතුමා එම සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේ අද ලබන මෙම නිදහස තම ජිවිතය අර්ථවත්ව ගත කිරීමට යොදා ගන්නා ලෙසයි.

අද දින නිදහස ලබාදෙන්නේ නැවත සිරගෙදරට එනු දැකීමට නොවන බව පැවසූ ජනාධිපති අද දින නිදහස ලබන සියලුදෙනාට තම අනාගතය ගොඩනඟා ගැනීමට අවශ්‍ය සෑම අත්වැලක්ම සැපයීමට ද තමා සුදානම් බව කියා සිටියේය. ඒ අනුව අද දින නිදහස ලබන පිරිස අතරින් ස්වයං රැකියාවල නිරතවීමට කැමති පිරිස් හා ඔවුන්ට අවශ්‍ය පහසුකම් පිළිබඳ විමසා බලා ඒ පිළිබඳ වාර්තාවක් කඩිනමින් තමා වෙත ලබාදෙන ලෙස ද බන්ධනාගාර කොමසාරිස්වරයාට උපදෙස් දුන්නේය.

යහපත් පුරවැසියන් ලෙස සමාජගත වෙමු 

බන්ධනාගාර රැඳවියන් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම පිළිබඳ ජනාධිපතිවරයා නිරන්තරයෙන් අවධානය යොමු කරමින් කටයුතු කරන අතර තමා ඝාතනයට කිරීමට පැමිණ, අධිකරණයෙන් වැරදිකරුවෙකු වී සිරගතව සිටි පුද්ගලයාට ද නිදහස ලබාදීමට එතුමා පසුගිය 2016 ජනවාරි 08 වනදා කටයුතු කළේය. මෙම උත්සව සභාව ඇමතූ ඔහු වැඩිදුරටත් කියා සිටියේ තම අරමුණ සිරගෙවල් පිරිවීම නොව සියලු පුරවැසියන් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම මෙන්ම, රට තුළ අපරාධ වැඩවීමට හේතුවන සෑම සමාජ පසුබිමක්ම වෙනස් කිරීම බවයි.

බන්ධනාගාර රැඳවියන්ට වෘත්තීය පුහුණුව ලබාදීම ඇතුළු ඔවුන්ගේ දැනුම සහ ශ‍්‍රමය ඵලදායීව යෙදවීම පිළිබඳ රජය කි‍්‍රයාත්මක කර තිබෙන වැඩපිළිවෙළ පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපති බන්ධනාගාර රැඳවියෙකු ලෙස ගත කළ තම අතීත අත්දැකීම ද සිහිපත් කරමින් සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේ රැඳවියෙකු ලෙස ගතකරන සමය තම ජීවිතය ගොඩනඟා ගැනීම වෙනුවෙන් අධීෂ්ඨානශිලිව ගත කරමින් දැනුම සහ හැකියාවන් වර්ධනය කර ගැනීමට උපයෝගි කර ගන්නා ලෙසයි.

රැඳවියන්ට ස්වයං රැකියා උපකරණ  - අධ්‍යාපනයට අතහිත

නිදහස ලබන රැඳවියන් පස් දෙනකුට ස්වයං රැකියා උපකරණ කට්ටල පිළිගැන්වීමට ද දායක වූවේය. 

මේ අතර බන්ධනාගාර රැඳවියෙකු වූ ලක්මිණ ඉන්දික බමුණුසිංහ මහතා ජනාධිපතිතුමා වෙතින් කළ ඉල්ලීම ඉටුකිරීමට ද ජනාධිපතිතුමා මෙහිදී පියවර ගත්තේය. බන්ධනාගාරයේ සිට සමාජ විද්‍යා පශ්චාත් උපාධිය අවසන් කළ ඔහු මේ වන විට කැළණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටින අතර 2005 වසරේ ශ‍්‍රී ලංකා බොක්සින් ශූරයෙකු වූ ඔහු මේ වසරේ ජාතික බොක්සිං ශූරතාවයට ද ඉදිරිපත්වීමට ද අපේක්ෂාවෙන් සිටි. තම උපාධිය සඳහා අවශ්‍ය නිබන්ධනය සම්පාදනය කිරීමට අවශ්‍ය මුදල් ලබාදෙන ලෙසත්, තරගාවලියට ඉදිරිපත්වීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙසත් ඔහු ජනාධිපතිතුමා හමුවී ඉල්ලා සිටි අතර නිබන්ධනය සඳහා අවශ්‍ය මුදල් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව පැවසු ජනාධිපතිතුමා අදාළ තරගාවලියට ඉදිරිපත්විමට ඉඩ ලබාදීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා අවශ්‍ය කටයුතු ඉටුකරදෙන ලෙස අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ වෙත උපදෙස් දුන්නේය.




සබැඳි පුවත්