''වෙසක් උත්සවය කඩාකප්පල් කිරීමට අපි කිසිලෙස වත් ඉඩ දෙන්නේ නැහැ'' - අගමැති


කුලියාපිටිය, හෙට්ටිපොළ සහ පඬුවස්නුවර ප්‍රදේශවල වත්මන් තත්වය පිළිබඳව සොයා බැලීම සඳහා අද (14) දින පෙරවරුවේ එම ප්‍රදේශයන්හි සිදු කළ සංචාරයකින් අනතුරුව කුලියාපිටිය, පොලිස් අධිකාරී කාර්යාලය ඉදිරිපිට දී මාධ්‍ය අමතා අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුවේ, රටේ සාමය හා ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය සියලූ බලතල ලබාදී තිබෙන බවයි. 

ප්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්තාවය සමනය කිරීම සඳහා ඊයේ රාත්‍රියේ කැබිනට් මණ්ඩලය රැස්කොට ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් හා පොලිස්පතිතුමා සමග සාකච්ඡා කර මෙම පියවර ගත් බව ච ඔහු වැඩිදුරටත් පැවසුවේය. 

මෙහිදී ඔහු අවධාරණය කළේ, 

''වත්මන් තත්වය සොයා බැලීම සඳහා අද අපි කුලියාපිටිය ප්‍රදේශයට පැමිණියා. ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් නිසා පාස්කු ඉරිදා දේව මෙහෙයන් කඩාකප්පල් වුණා. නමුත් මේ ප්‍රදේශවල සිටින ඇතැම් කඩාකප්පල්කාරී කණ්ඩායම් නිසා එළඹෙන වෙසක් උත්සවයත් විනාශ කිරීමට ඉඩදිය නොහැකියි. ඒ වෙනුවෙන් ගතයුතු සියලූ ක්‍රියාමාර්ග ගැනීමට ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේ දී අපි තීරණය කළා. 



රටේ සාමය හා ආරක්‍ෂාව තහවුරු කිරීමට පොලීසියට සහ ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය සියලූ බලතල ලබාදී තිබෙනවා. ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සහ පොලිස්පතිතුමා ඒ පිළිබඳව ඊයේ ප්‍රකාශ නිකුත් කළා. අසරණ ජනතාවට කරදර හිරිහැර කරමින් වෙසක් උත්සවය කඩාකප්පල් කිරීමට අපි කිසි ලෙසකින්වත් ඉඩ ලබාදෙන්නේ නැහැ. 
අවශ්‍ය ප්‍රදේශවලට පොලිස් ආරක්‍ෂාව ලබාදෙමින් වෙසක් උත්සවය සාමකාමීව සැමරීමට අවශ්‍ය කටයුතු සලසනවා. ඒවෙනුවෙන් පොලිසියටත් ත්‍රිවිධ හමුදාවටත් සම්පූර්ණ සහයෝගය ලබාදෙන්න යැයි මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 


මෙම සිදුවීම්වලින් හානියට පත්ව සිටින ජනතාවට සහන සැලසීම පිළිබඳව ඇමැති මණ්ඩලයේ දී අවශ්‍ය තීරණ ගැනීමට බලාපොරොත්තු වෙනවා'' යන්නයි.