සාලාව පිපිරීමෙන් විපතට පත්වූවන් ගොනුකළ මානව හිමිකම් පැමිණිල්ල යළි කැඳවයි


සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතටපත් ජනතා එකමුතුව විසින් ගොනු කළ මානව හිමිකම් පැමිණිල්ල යළි පරීක්‍ෂණයට කැඳවීමට මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

2016 ජූනි 05 දින ඉහත සඳහන් අවි ගබඩාව පුපුරා යන ලදී. එම පිපිරීමත් සමග ජනතාවගේ නිවාස, දේපල ඇතුලූ වත්කම්වලට විශාල හානියක් සිදුවිය. නමුත් එම හානිය ප‍්‍රතිපූර්ණය සඳහා ගෙවීම් කිරීමට තක්සේරු දෙපාර්තමේන්තුව විසින් සිදුකළ තක්සේරුව විධිමත් හා පිළිගත හැකි ක‍්‍රමවේදයක් අනුව සිදු නොවූ බවට විපතට පත් ජනතාවගෙන් චෝදනා එල්ල විය. 

ඒ හේතුවෙන් විපතට පත් ජනතාව අසාධාරණයක් සිදුව ඇති බව පැමිණිල්ල මගින් පෙන්වා දී ඇති අතර එම පැමිණිල්ලේ මුල් අදියරේ විභාග කිරීමේදී තක්සේරු දෙපාර්තමේන්තුව එල්ල වූ චෝදනාව භාරගන්නා ලදී.

එයට යටත්ව මානව හිමිකම් කොමිෂන් සභාව අදාල වගඋත්තරකාර පාර්ශ්වය සඳහා නිර්දේශ සහිත අතුරු වාර්තාවක් නිකුත් කරන ලදී. අතුරු වාර්තා නිර්දේශය ක‍්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් අදාල පරීක්‍ෂණය යළි කැඳවා ඇත. 

ඒ අනුව එම පරීක්‍ෂණය 2019 මැයි 15 දින පෙ.ව. 9.15 ට අංක 14 ආර්.ඒ. ද මැල් මාවතේ (ඩුප්ලිකේෂන් පාරේ) පිහිටි ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේදී පැවැත්වෙනු ඇත.