''රිෂාඩ් ඇමතිධූරයෙන් ඉවත් විය යුතුයි'' - පාඨලී


රිෂාඩ් බදුර්දීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ බලය මෙරට පොලීසියට හා රාජ්‍ය බුද්ධි අංශ වලට පැවරී ඇති බැවින් එම පරීක්ෂණ ස්වාධීනව සිදුකිරීමට සහය ලබාදෙමින් ඔහු සිය අමාත්‍යධූරයෙන් ඉවත් විය යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක අද (29) දින පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පැවසුවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ,

''අද පාර්ලිමේන්තුව හමුවේ විශ්වාසභංග යෝජනා දෙකක් ගෙනැත් තියෙනවා. එකක් රිෂාඩ් බදුර්දීන් ඇමතිතුමාට එරෙහිව, අනෙක ජනතා විමුක්ති පෙරමුණ විසින් සමස්ත රජයටම එරෙහිව. අපේ ස්ථාවරය මේ 
රජයට එරෙහිව තියෙන විශ්වාසභංගය කලින්ම විවාදයට අරගෙන ඒ ගැන පාරලිමේන්තුවේ මත විමසීම කලින්ම කළයුතු බවයි. ඊළඟට රිෂාඩ් බදුර්දීන් ඇමතිතුමාට එරෙහිව, ත්‍රස්තවාදී ක්‍රියාවට තිබෙන යම් යම් සම්බන්ධතා පිළිබඳ කරුණු  එම විශ්වාසභංගයේ කරුණු 10 ක් දක්වා තිබෙනවා. ඒවා ඇත්තටම ගත්තොත් අපරාධ වරදවල්. එක පැත්තකින් අත්අඩංගුවට ගත්ත අය වැලැක්වුවයි කියලා චෝදනාවක් තියෙනවා. ත්‍රස්තවාදය සම්බන්ධයෙන් කරුණු වලට එතුමා සම්බන්ධ වුණු බවට චෝදනා තියෙනවා.

මේවා පාර්ලිමේන්තුවේ වාද විවාද වලින් විමසන්න පුළුවන් දේවල් නෙමෙයි. මේවා අනිවාර්යයෙන්ම පොලීසිය රාජ්‍ය බුද්ධි අංශ විධිමත්ව කල්පනා කරලා , උසාවියේ කළයුතු දේවල්. දේශපාලන වශයෙන් හඬ නගන්න බැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා, මෙතන තියෙන එකම ප්‍රශ්නේ එතුමා ඇමතිධූරයේ ඉන්න කොට මෙවැනි පරීක්ෂණයක් සාධාරණව කරන්න ඉඩකඩ ලැබෙයිද ?, ඔහු ඔහුගේ රාජ්‍ය බලය පාවිච්චි කරයිද ?. ඔහුගේ දේශපාලන බලය සාධාරණ පරීක්ෂණයකට එරෙහිව යොදාගනීද ? කියන ප්‍රශ්නය. ඒ නිසා අපි හිතනවා, මීට කලිනුත් මෙවැනි ප්‍රශ්න පැන නැගුණා.

එතුමා තමාගේ අමාත්‍යධූරයෙන් ඉවත් වෙලා මේ පරික්ෂණය අපේ පොලීසියට පවරලා එතුමාට එරෙහි චෝදනා 10 සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් කරලා ඒ විමර්ශනයට අනුව ආණ්ඩුවත් නීතිය හා සාමය හා අංශත් ක්‍රියාත්මක කළයුතු බවයි.'' යන්නයි.