''මාධ්‍යවේදී රිස්වි මහරුෆ් අත්අඩංගුවට ගත්තේ පදනම් විරහිතවයි'' - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය


අනුරාධපුර ප‍්‍රදේශය කේන්ද්‍ර කරගෙන ප‍්‍රාදේශිය මාධ්‍යවේදීයෙකු ලෙස සේවයේ නිරත මොහොමඞ් රිස්වි මහරුෆ් පදනම් විරහිත චෝදනා මත ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තැබීම භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස දැඩිව උල්ලංඝණය කළ අවස්ථාවක් බව මේ ගැන අද (30) දින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිකුත් කළ නිවේදනයෙන් දක්වා තිබේ.  

රිස්වි මහරුෆ් අත්අඩංගුවට ගත්තේ පදනම් විරහිත චෝදනා මත 

''අනුරාධපුර ප‍්‍රදේශය කේන්ද්‍ර කරගෙන ප‍්‍රාදේශිය මාධ්‍යවේදීයෙකු ලෙස සේවයේ නිරත මොහොමඞ් රිස්වි මහරුෆ් පදනම් විරහිත චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තැබීම නිසා එම මාධ්‍යවේදීයාට සිදුවු බලවත් ආසාධාරණය සම්බන්ධයෙන් දැඩි කණස්සල්ල  පළ කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙම අචිචාරවත් අත්අඩංගුවට ගැනීම නිසා මාධ්‍ය සහ මාධ්‍යවේදීන්ගේ නිදහස හා ආරක්ෂාව සම්බන්ධයෙන් බලවත් තර්ජනයක් එල්ල වි ඇති බව අවධාරණය කර සිටී. 

සෝදිසි මෙහෙයුමක් අතරතුරදී, මොහොමඞ් රිස්වි මහරුෆ් සතු ගොඩනැගිල්ලක තිබූ වීඩියෝ පට, සීඩී තැටි අතර තවුහිද් ජමාද් සංවිධානයේ ප‍්‍රචාරක සහ දේශන ඇතුළත් සංයුක්ත තැටි සොයාගත් බව සදහන් කරමින් පොලිසිය ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ තිබිණ.සතියක පමණ කාලයකට පසුව පොලිසිය මගින් අධිකරණය වෙත දැනුම් දී තිබුණේ අදාළ සංයුක්ත තැටි තවුහිද් ජමාද් සංවිධානයේ ප‍්‍රචාරක සහ දේශන ඇතුළත් ඒවා නොවන බැවින් මොහොමඞ් රිස්වි මහරුෆ්ට එරෙහිව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු නොකරන බවයි.
මොහොමඞ් රිස්වි මහරුෆ්

භාෂණයේ, ප්‍රකාශනයේ නිදහස කඩ කරලා 

ඒ අනුව මොහොමඞ් රිස්වි මහරුෆ් අධිකරණය මගින් ඇප මත මුදාහරිනු ලැබූවද මෙහිදී මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට ගෙන චෝදනා ගොනු කිරිමේදී පොලිසිය ක‍්‍රියා කර ඇති ආකාරය භාෂණයේ සහ ප‍්‍රකාශනයේ නිදහස ඇතුලූ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් බරපතල තර්ජනයක් එල්ල වූ අවස්ථාවක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිරීක්ෂණයයි.

රූපවාහිනී ක්ෂේත‍්‍රය මූලික කරගෙන දශක ගණනාවක් වෘත්තියේ නිරත මාධ්‍යවේදියෙකුට නිකරුණේ දින ගණනාවක් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටීමට සිදුවීම ඔහුගේ වෘත්තීය ජිවිතයට මෙන්ම, මෙරට මාධ්‍ය සහ මාධ්‍යවේදීන්ගේ නිදහස සහ ආරක්ෂාව සම්බන්ධයෙන් බලවත් තර්ජනයක් එල්ල වූ අවස්ථාවක් බව ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විශ්වාසයයි.

මෙම සිදුවීම දැඩි ලෙස හෙළා දකින අතරම, අසාධාරණයට ලක්වූ මෙම මාධ්‍යවේදියාට සාධාරණය ඉටු කරන ලෙසත් ජාතික ආරක්ෂාවට අදාළ මෙහෙයුම් ඇතුලූ ක‍්‍රියාමාර්ගවලදී මාධ්‍ය නිදහස, භාෂණයේ සහ ප‍්‍රකාශනයේ නිදහස ඇතුලූ මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කරමින් කටයුතු  කරන ලෙසටත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආණ්ඩුව ඇතුළු වගකිය යුතු සියලූ පාර්ශ්වයන් වෙත අවධාරණය කර සිටියි.'' යන්නයි.