''මගේ උපරිමය කළා‘‘ - තෙරේසා මේ


බ්‍රිතාන්‍යය අගමැතිවරිය ලෙස කටයුතු කරන තෙරේසා මේ සිය ධූරයෙන් ඉල්ලා අද (24) නිවේදනය කර සිටියේ තමන් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවයි. ඒ අනුව එළඹෙන ජූනි 7 වැනිදා ඇය සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිතය. 

යුරෝපා සංගමයෙන් ඉවත්වීමට කැමැත්ත පළකල ජනතාවගේ කැමැත්තට ගරු කිරීමට තමන් තෙවරක් උත්සහ කළ ද පාර්ලිමේන්තුව තුළදී එය යථාවක් බවට පත්කරගැනීමට නොහැකි වූ බව අද ඇය සිය නිළ නිවහනේදී සිදුකළ සංවේදී කතාවේදී පෙන්වා දුන්නාය. 

''මා අගමැති ලෙස කටයුතු කරන්නට පටන්ගත් දින සිටම එක්සත් රාජධානිය අතලොස්සක් පමණක් වෙනුවෙන් නොව සියලුදෙනා වෙනුවෙන්ම යුතුකම් ඉටුකරන රටක් බවට පත්කිරීමේ උත්සහයක නියැළුණා වගේම යුරෝපා සංගමය සම්බන්ධයෙන් පැවති ජනමත විචාරණයේ ප්‍රතිඵල වලට ගරු කළා. 

අපි බ්‍රිතාන්‍යය ජනතාවට 2016 දී තෝරාගැනීමක් කරන්න ඉඩ දුන්නා. බ්‍රිතාන්‍යය ජනතාව සියලු පුරෝකථනයන් මැද යුරෝපා සංගමය අතහැර යන්න තමන්ගේ කැමැත්ත ලබාදුන්නා. මං පහුගිය වසර තුනේදී සිදුකළා වගේම අදත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කටයුතු කළා. 

ජනතාවට තෝරාගන්න ඉඩදුන්නා නම් ඔවුන් තීරණය කරන දේ ක්‍රියාත්මක කිරීමේ වගකීමත් ඔබට පැවරී තිබෙනවා. මම මගේ උපරිමය කළා.‘‘ යනුවෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය පැවසුවාය. 

තෙරේසා මේ, ඩේවිඩ් කැමරන්ගෙන් පසු අගමැතිධූරයට පත්වූයේ පසුගිය 2016 වසරේදී ය.