රතන හිමියන් මාරාන්තික උපවාසය අරඹයි


පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පිරිස් සමග ගනුදෙනු කළ ආණ්ඩුකාරවරුන් වන හිස්බුල්ලා හා අසාද් සාලි මෙන්ම අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ද සිය ධූර වලින් ඉවත් කිරීමට ජනපතිවරයා කටයුතු කළ යුතු බව පවසමින් පූජ්‍ය අතුරලියේ රතන හිමි අද (31) දිනයේදී දළදා මාළිගාව මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය. 

උපවාසය අරඹමින් රතන හිමියන් සඳහන් කළේ, 

''අද අපේ රට බරපතල අනතුරකට මුහුණදීලා තියෙනවා, මනුෂ්‍යත්වයක් නැති අන් අය ගැන හිතන්නේ නැති මිත්‍යාවෙන් අන්ද වූ මහා සාහසික පිරිසකගේ මහා ත්‍රස්තවාදී ප්‍රහාරයකට අප්‍රේල් 21 වෙනිදා මුළු මහත් ජාතියම මුහුණදීමේ අනතුරකට පත්වුණා. දස දහස් ගාණක් මෙහි ප්‍රතිවිපාකයන්ට භාජනය වුණා. 

මෙය එක පුද්ගලයෙකුගේ හෝ හත් අට දෙනෙකුගේ ක්‍රියාවක් නොව වසර 20 ගාණක් තිස්සේ පතුරුවන ලද මිත්‍යා මතවාදයන්ගේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඒ තත්ත්වය උදා වුණේ. විශේෂයෙන්ම, ලංකාව පුරා පතුරුවා තිබෙන මද්‍රාසා පාසල් මගින් මෙවැනි සාහසික ප්‍රචණ්ඩත්වයකට අවශ්‍ය කරලා තියෙන මතවාද පතුරුවලා තියෙනවා. 

හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා විසින් ප්‍රජාතන්ත්‍රවාදීව පත්කළ යුතු පළාත් සභා පත් නොකළ නිසා ඒ පළාතේ අධ්‍යාපන, සෞඛ්‍ය, ඉඩම් බෙදා දීම් ආදිය සිදුකරන්න අවස්ථාව හිමිවෙලා තියෙනවා. මේ මහා විපත සිදුවූ අප්‍රේල් 21 වෙනිදා වනවිට ආණ්ඩුකාර ධූරය දැරුවේ හිස්බුල්ලා මැතිතුමා. එතුමා මීට පෙරත් විවිධ වූ සාහසික ප්‍රකාශන සිදුකර තිබෙනවා. තමන්ගේ ජනතාවට ආයුධ සන්නද්ධ වන ලෙස ආයාචනා කර තිබෙනවා. ඒ වගේම ඔහුගේ නුසුදුසුකම් ආණ්ඩුකාර ධූරයට පත්වීමට අනන්තව තිබෙනවා. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැකයට භාජනය වූ පුද්ගලයෙක්. 

එසේ තිබියදී ඔහු ආණ්ඩුකාර ධූරයට පත්කරලා තියෙන්නේ ජනාධිපතිතුමා සතු විධායක බලය බස්නාහිර පළාතේ පරිහරණය කළ හැකි පුද්ගලයා තමයි අසාද් සාලි මැතිතුමා. ඔහු අද තමන්ගේ බලය අන්තවාදී ක්‍රියා වලට පාවිච්චි කරමින් ඉන්නවා. පාර්ලිමේන්තුවේ අමාත්‍ය ධූරයක් දරන රිෂාඩ් බදුර්දීන් මැතිතුමා හතළිස් ගාණකට වැඩි දෙපාර්තමේන්තු රැසක නායකත්වය හසුරුවීමේ ශක්තිය ලැබිලා තියෙනවා. ජාතිවාදීවත්, නාස්තිකාර ලෙසත් ඔහු අද හැසිරෙනවා. 

මෙම සියළු කාරණා සැලකිල්ලට අරගෙන අද දිනයේදී අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා මැතිතුමාත්, බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි මැතිතුමාත්, ඒවගේම පාර්ලිමේන්තුව නියෝජනය කරන රිෂාඩ් බදුර්දීන් මැතිතුමාත් ඒ අමාත්‍යධූරයෙන් ඉවත් කරන්නට කියලා. ඒ ඉවත් කළ හැක්කේ අග්‍රාමාත්‍යතුමාට දැනුම්දීමෙන්. අපි බලාපොරොත්තු වෙනවා නොපමාව අග්‍රාමාත්‍යතුමාට දැනුම් දීලා ඒ තනතුරු වලින් ඔවුන්ව ඉවත් කරන්න ජනාධිපතිතුමා කටයුතු කරයි කියලා.'' යන්නයි.