''ජනපති අපේක්ෂකත්වය ගැන මට හදිසියක් නැහැ'' - ජනපති


ජනාධිපතිවරණය එළඹෙන දෙසැම්බර් 7 වැනිදා පැවැත්වෙන බවත් තමන් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වෙනවාද ? නැද්ද ? යන්න තවම තීරණය කර නැති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන ඉන්දීය මාධ්‍ය හමුවේ ඊයේ (31) දින අනාවරණය කර සිටියේය. 

ඔබ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වෙනවාද ?, ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ කොයි කාලේද ? යනුවෙන් මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේදී ඊට පිළිතුරු දෙමින් ජනපතිවරයා පැවසුවේ, 

‘ශ්‍රී ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණය තිබෙන්නේ මේ වර්ෂයේ අවසානයේ. මැතිවරණය පැවැත්වෙනවා මේ වසරේ දෙසැම්බර් මාසේ 7 වැනිදා. ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිසම ඒ පිළිබඳව ප්‍රකාශයක් එසේ කරලා තිබෙනවා. මැතිවරණයට තවම අපිට කල් තිබෙනවා. 

කිසිදු දේශපාලන පක්ෂයක් ලංකාවේ මෙතෙක් අපේක්ෂකයෙකු තෝරලා නැහැ, ආණ්ඩුව හෝ විපක්ෂය හෝ කිසිම පක්ෂයක්. ඒ නිසා මටත් හදිස්සියක් නැහැ අනික් පක්ෂ තෝරනකම් මමත් බලාගෙන ඉන්නවා මගේ තීරණයට.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මාලදිවයින් සංචාරය තුළ ශ්‍රී ලංකාවටත් පැමිණෙන බව දන්වා තිබෙනවා, ඔහුගේ සංචාරය අපිට ඉතාමත් වැදගත්’ යන්නයි.