''අද සහරාන්ගේ කල්ලියේ කොටසක් ජීවතුන් අතර නැහැ'' - අගමැති



මේ වන විට ශ්‍රී ලංකාව තුළ අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය සහ සහරාන්ගේ ජාතික තවුහිද් ජමාත් කල්ලිය සම්පූර්ණයෙන් නැති කර තිබෙන බව පෙන්වා දුන් අගමැති රනිල් වික්‍රමසිංහ, මෙම ත්‍රස්තවාදී ක්‍රියා නැවත මෙරට තුළ ඇති නොවන ආකාරයට කටයුතු කිරීම සඳහා පවතින ක්‍රමවේදයන් ප්‍රතිව්‍යූහගත කරමින් ජනතාව සමග සංහිදියාවෙන් ඉදිරියට යා යුතු බව ඊයේ (30) අම්පාර  දී පවුල් ලක්‍ෂ 6 ක් සඳහා සමෘද්ධි හිමිකම් ලබාදීමේ ජාතික උත්සවයට එක් වෙමින් පැවසුවේය . 

මෙම අවස්ථාවට දයා ගමගේ, අනෝමා ගමගේ, අලි සහීර් මවුලානා, ෆයිසාල් කාසිම්, මන්සූර්,  බන්දුලලාල් බණ්ඩාරිගොඩ, මොහොමඩ් ඉස්මයිල් ප්‍රධාන දේශපාලනඥයින්, ආරක්‍ෂක ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුලූ විශාල පිරිසක් සහභාගි වූහ.  


සමෘද්ධි හිමිකම් ලබාදීමේ උත්සවය අමතමින් තවදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා වැඩිදුරටත් අදහස් දැක්වූවේ, 

ලංකාව තුළ අයි.එස්. ත්‍රස්තවාදය හා ජාතික තවුහිද් ජමාත් සංවිධානය නැතිකර තිබෙනවා 

''මේ වන විට ශ්‍රී ලංකාව තුළ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය හා සහරාන්ගේ ජාතික තවුහිද් ජමාත් සංවිධානය නැති කර තිබෙනවා. දැන් අපට තිබෙන්නේ අනාගතයේ දී මේ ත්‍රස්තවාදය යළි ඇති නොවන ආකාරයට කටයුතු කිරීමයි. ඒ සඳහා අපේ ක්‍රමවේදය ප්‍රතිව්‍යූහගත කර ජනතාව එකතු කර ගනිමින් සංහිදියාව ඇතිව ඉදිරියට යා යුතුයි. 

1983 දී අප සිදු කළ වරද නැවත සිදු කළ යුතු නැහැ. මේ රටේ කිසිඳු ජන කොටසක් කොන් කළ යුතු නැහැ. පාස්කු ඉරිදා බෝම්බ පිපිරවීමෙන් පසු එදිනම මා ආරක්‍ෂක අංශ සමග සාකච්ඡා කළා. ආරක්‍ෂක අංශ කඩිනමින් ඒ වැඩකටයුතු ආරම්භ කර බෝම්බ පිපිරවීමට අදාළ තොරතුරු විශාල ප්‍රමාණයක් එදිනම සොයා ගනු ලැබුවා. 

අද සහරාන්ගේ කල්ලියේ කොටසක් ජීවතුන් අතර නැහැ. එම කල්ලියට අයත් අනෙක් සියලූ දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම එම සංවිධානය සමග සබඳතා පැවැත්වූ අය ද අත්අඩංගුවට ගෙන තිබෙන අතර තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතයි. 

මේ ත්‍රස්තවාදය එල්ටීටීඊ ය වගේ ලොකු සංවිධානයකින් කරන වැඩක් නෙමෙයි 

සහරාන්ගේ කල්ලිය, ජාතික තවුහිද් ජමාත් සංවිධානය සම්පූර්ණයෙන් නැති වුණත් ත්‍රස්තවාදය අවසන් කළා යැයි කියා සිටිය යුතු නැහැ. මෙය එල්.ටී.ටී.ඊ.ය වැනි විශාල සංවිධානයකින් සිදු කරන වැඩක් නොවෙයි. එක කණ්ඩායමක් නැති වුණත්, තවත් කණ්ඩායමක් ඇති විය හැකියි. මේ අයට දේශපාලන අරමුණක් නැහැ. තමන්ගේ අරමුණ මරාගෙන මැරීමයි. ඇතැම් විට දෙතුන් දෙනෙක් එකතු වුණත් මරාගෙන මැරෙන්න පුලූවන්. යුරෝපයේ ඇතැම් අවස්ථාවල එක් පුද්ගලයෙකු වුවත් මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගෙන තිබෙනවා. 

මේ ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා නව නීති ගෙන ඒමේ අවශ්‍යතාවය මතු වී තිබෙනවා. ඒ වගේම වත්මන් ක්‍රමවේදයන්හි ප්‍රතිව්‍යූහගත කිරීමක් ඇති කළ යුතුයි. එදා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා ව්‍යූහයක් ඇති කළා. අද අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය නැති කිරීම සඳහා අලූත් ව්‍යූහයක් සකස් කළ යුතුව තිබෙනවා.'' යන්නයි.