‘‘ආණ්ඩුව දියත් කරන ජනපතිවරණය කල්දැමීමේ උපක්‍රමය හෙළාදකිනවා‘‘ - ‘අපට රටක්‘ සංවිධානය



ආණ්ඩුව විසින් ජනපතිවරණය කල්දැමීමේ උපක්‍රමයක් දියත් කරන බවත් තමන් එය තරයේ හෙළාදකින බවත්  ‘අපට රටක්‘ සංවිධානය අද (23) දින නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

එහි ලේකම් රාහුල ජයවර්ධනගේ අත්සනින් නිකුත් කළ අදාළ නිවේදනයේ වැඩිදුරටත් අවධාරණය කරන්නේ,   

‘‘යහපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය කරපින්නාගෙන පැමිණි වත්මන් ආණ්ඩුව මේ වන විට ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් උල්ලංඝනය කරමින් පවතී. පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් දැමු අතර, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන විපක්‍ෂයේ දැඩි උද්ඝෝෂණ හමුවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුවට සිදුවිය. මේ වන විට සියළු පළාත් සභා වල නිල කාලය ඉකුත් වී මාස ගණන් වසර ගණන් ඉක්ම ගොස් ආණ්ඩුකාරවරුන් යටතේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස ජනාධිපතිවරයාගේ සෘජු අණසකට යටත් කොට ජනාධිපතිවරයාගේ න්‍යාය පත‍්‍රයට අනුව කටයුතු හිමිකර පවති.

එළඹෙන නොවැම්බර් මාසය වන විට ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමට නියමිතය. 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5 කට සීමා වූ අතර, ඒ අනුව එළැඹෙන නොවැම්බර් මාසයේ දී ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවිය යුතු ය. රට තුළ ගොඩනැගි ඇති අස්ථාවරත්වය හා දේශපාලන කැළඹීමේ අවාසිය ඵක්සත් ජාතික පක්‍ෂය හා මෛත‍්‍රීපාල ජනාධිපතිවරයාට බලපෑම් එල්ල කර තිබේ. එක්සත් ජාතික පක්‍ෂය තුළ ජනාධිපති අපේක්‍ෂකයා සම්බන්ධයෙන් ගැටළු ඇති වෙමින් පක්‍ෂය තුළ අර්බුද ගණනාවක් ඇති වී තිබේ. ඒ අතර ‘ජාතික මඟ‘ ඔස්සේ චම්පික රණවක ඇමතිවරයා ද ජනාධිපති අපේක්‍ෂකත්වය පිළිබඳ සටනට අවතීර්ණ වී තිබේ. මෙම අර්බුදයන් මැද වත්මන් පාලකයා විශේෂයෙන් එක්සත් ජාතික පක්‍ෂය හා මෛත‍්‍රීපාල ජනාධිතිවරයා ජනාධිපතිවරණය කල් දැමීමේ කූඨ උපක‍්‍රමයක නියැලි සිටින බව පෙනී යයි. ඒ සඳහා ඔවුන් නගන කරුණ වී තිබෙන්නේ 19 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සඳහා කතානායකවරයා අත්සන් කර ඇත්තේ 2015  මැයි මාසයේ දී යන්නයි. ඒ අනුව 19 ව්‍යවස්ථා සංශෝධනය බලගැන්වෙන්නේ 2018 මැයි මාසයේ දී සිට වන බවයි. ඒ අනුව බලතල තවත් මාස 6 කට අධික කාලයක් මෛත‍්‍රීපාල ජනාධිපතිවරයාට තම ධූරය දැරිය හැකියි. තමන්ගේ අවශ්‍යතාවයට අනුව ආධිපත්‍ය හැසිරවිය ආකාරයටයි ඒ වටපිටාව ද ඔහු මේ වන විට සකස් කර තිබේ.

කෙසේ වෙතත් පසූගිය ඔක්තෝම්බරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කෑමොර ගෑ බටහිර තානාපති කාර්යාල  නඩය හා සමනල නඩය මේ සම්බන්ධයෙන් මුනිවත රකින්නේ ඇයි ද යන්න පිළිබඳ සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින නැගි සිටින අයවළුන් සඳහා ගැටළුවක් නොවන්නේ ඔවුන් අරලියගහමැදුරේ, සිරිකොතේ කූක්කන් බව ලොවම දක්නා බැවිනි. ගැටළුව වන්නේ බටහිර තානාපති කාර්යාල නිහඩව සිටීමයි.

ආණ්ඩුව සහා ජනාධිපතිවරයාගේ ප‍්‍රතිරූපය මේ වන විටසුණුවිසුණු වී තිබේ. එම නිසා මොවුන් සමූපකාර මැතිවරණය යකටවත් මූහූණදීමට බියවී තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරණ මෙම ආදරණීය ජනතාව හමුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි වැඩ පිළිවෙළට එරෙහිව නැගී සිටිමින් සිටී.

සියළු තරුණ කොටස්, ඒකරාශිකරගත්. වෘත්තිකවේදීන්ගෙන් සැදුම්ලත් ‘‘අපට රටක්”සංවිධානය ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි මැතිවරණ කල්දැමීමේ කූඨ උපක‍්‍රමය තරයේ හෙළා දකින අතර ජනාධිපතිවරණය නිසි කලට පවත්වා රට තුළ යලිත් ස්ථාවරත්වය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කරන ලෙස තරයේ ඉල්ලා සිටින අතර එසේ නොවන්නේ නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සියලූ පාර්ශ්වයන් සමඟ අත්වැල් බැඳගනිමින් රටේ හෙට දවස වෙනුවෙන් සියලූ කැපකිරීම් කිරීමට ඇප කැපවන බව අවධාරණය කර සිටිමු.‘‘ යන්නයි.