‘‘ත්‍රස්ත ක්‍රියා මැද වුණත් ආර්ථික දර්ශක ස්ථාවරයි‘‘ - මංගල


ත්‍රස්තවාදී ක්‍රියා මැද වුවත් අද වනවිට රටේ මූලික ආර්ථික දර්ශක ස්ථාවරව පවතින බව මුදල් අමාත්‍ය මංගල සමරවීර විදේශ විනිමය පනත යටතේ නියෝගය විවාදය පාර්ලිමේන්තුවේ ආරම්භ කරමින් අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු අවධාරණය කළේ, 

‘‘වසර ගණනාවක් යුද්ධයෙන් පස්සේ නැවත වරක් සාමය සමගිය හා ආර්ථික ස්ථාවරත්වය උදා වුණේ 2015 පසුවයි. ප්‍රජතන්ත්‍රවාදී රටක් ලෙස ඉමහත් පිළිගැනීමට ලක් වුණේ මේ කෙටි කාලය තුළයි. ඒ තුළින් යළි වතාවක් විධිමත් සංවර්ධන මාවතකට යොමු වෙලා තිබුණේ.

සංවර්ධනයට ප්‍රධාන බාධා දෙකක් ඇති කළා. මහා නියඟයක් හා ගංවතුරක් ඇති වුණා. ඔක්තෝබර් 26 ඇති වූ ව්‍යවස්ථා කුමන්ත්‍රණය. අප්‍රේල් 21 බොම්බ ප්‍රහාරය නිසා රට ආපස්සට ඇද දැමීමීමට යම් කොටස් කටයුතු කළා. දේශපාලන බලවේගවල ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී, අන්තවාදී ක්‍රියාකාරකම් තවම නැති වී නෑ. සංචාරක ව්‍යාපාරය දියුණු වෙලා රටේ ස්ථාවර පදනම ශක්තිමත් වුණා. විශාල වශයෙන් ඇද වැටුණු රුපියල ශක්තිමත් වුණා ස්ථාවර වුණා. 

පසුගිය 21 වැනිදා ඇති වූ ජාත්‍යන්තර අන්තවාදී ක්‍රිකාරකම් නිසා ජීවිත විශාල සංඛ්‍යාවක් විනාශ වුණා. මේ සියලු බාධා මැද සර්ව ආර්ථිකය ශක්තිමත්ව නොසැලී පවත්වාගැනීමට පදනම 2015 ජනවාරි මස සිට රට තුළ ඇති කර තිබෙන නිසා පාස්කු බෝම්බයෙන් ඇති වූ ප්‍රහාරය සිදු වුණත් අපේ ආර්ථිකයට අපිට මුහුණ දෙන්න හැකි වී තිබෙනවා. ත්‍රස්තවාදී ක්‍රියා මැද වුවත් අද වනවිට රටේ මූලික ආර්ථික දර්ශක ස්ථාවරව පවතින බව කියන්න කැමතියි. රටේ ආර්ථික දර්ශකය නොවෙනස්ව පවතිනවා. විදෙස් සංචිත ශක්තිමත්. මේ දර්ශක කිසිවක විශාල වෙනසක් පෙන්වන්නේ නෑ. අනපේක්ෂිත ත්‍රස්තවාදී ප්‍රහාරය ඉතා කෙටි කාලයක් තුළ මැඩ පැවැත්වීමට හැකි වුණා. අස්ථාවර තත්ත්වය පාලනය කිරීමට හා ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට රජය සමත් වුණා‘‘ යැයි ද ඔහු වැඩිදුරටත් පැවසුවේය.