''සමෘද්ධියේ ජාතික උත්සවයට මිලියන 180 ක් වෙන්කරගෙන'' - විජිත හේරත්


එළඹෙන 31 වෙනිදා පැවැත්වීමට නියමිත සමෘද්ධි ජාතික උත්සවයට මිලියන 180 ක මුදලක් වෙන්කරගෙන ඇති බවත් ඇමතිවරයා ඒ මුදල ප්‍රමාණවත් නොවන බව පවසන බවත් අද (27) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අද පැවති මාධ්‍ය හමුවකදී හෙළිදරව් කළේය. 


මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ,

''ආණ්ඩුව වසරත් නම් කරා දිළිඳුකම තුරන් කිරීමේ වසර කියලා. නමුත් සිද්ධ වෙලා තියෙන්නේ දිළිඳුකම වැඩිවෙලා. ඒකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පහුගියදා ලබාගත්ත ණය වලින් ආණ්ඩුව තවත් රුපියල් බිලියන 10 ක් නව සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා මුදල් වෙන්කර තිබෙනවා. දුප්පත් ජනතාවට සමෘද්ධිය දෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් දෙන ක්‍රමවේදයේදී මේ ගොල්ලෝ අනුගමනය කරන ක්‍රියාමාර්ග වලින් තවත් මහා වියදමක් ඇති වෙලා තියෙනවා. 

මේ සඳහා වෙන රාජ්‍ය උත්සවය යෝජනා කරලා තියෙනවා අම්පාර දිස්ත්‍රික්කයේ. ඇමතිවරයාගේ දිස්ත්‍රික්කයේ ජාතික උත්සවය මැයි මාසේ 31 වෙනිදා අම්පාරේ පවත්වන්න. ඊට සමගාමීව දිස්ත්‍රික්ක 25 උත්සව 25 ක් සංවිධානය කරලා තියෙනවා.  එක උත්සවයක වේදිකාවට විතරක් ඇස්තමේන්තු කරලා තියෙන මුදල රුපියල් ලක්ෂ 42 යි. මෙච්චර ආර්ථික අහේනියක් වෙච්ච වෙලාවේ ස්ටේජ් වලට විතරක් ලක්ෂ 1000 ක් යොදනවා. රටේ ආර්ථිකය කඩා වැටිච්ච වෙලාවක උත්සව සඳහා විතරක් ලක්ෂ 1800 ක්, මිලියන 180 ක්  දැන්වෙන්කරගෙන තියෙනවා. ඇමතිවරයා කියනවා මිලියන 180 මදි.  300 ක් ඕන කියලා. පවුල් ලක්ෂ 6 කට  අලුතෙන් සමෘද්ධිය දෙන්න ගිහිල්ලා මේගොල්ලන්ගේ ප්‍රදර්ශන සඳහා ලක්ෂ 1800 ක් දැනට සැලසුම් කරලා තියෙනවා. කොයිතරම් අසාධාරණද බලන්න.'' යන්නයි.