සමෘද්ධි උත්සවයේ වියදම් ගැන පරීක්ෂණයක් ?


එළඹෙන මැයි 30 වැනිදා අම්පාර මහජන කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිත නව සමෘද්ධි සහනාධාර බෙදා දීමේ උළෙල වෙනුවෙන් වැය කිරීමට නියමිත රුපියල් මිලියන 180 ක උත්සව වියදම් සම්බන්ධව කඩිනම් පුළුල් පරීක්ෂණයක් ඉල්ලා සිටින බව සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය අද (28) දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ලිපියක් යවමින් පවසයි. 


සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුම කළුගේ ගේ අත්සනින් නිකුත් කර ඇති මෙම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ, 

''2019 අයවැය යෝජනා අනුව 2019 මැයි 30 දින අම්පාර මහජන ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත පවුල් ලක්ෂ 06 වෙත නව සමෘද්ධි සහනාධාර හිමිකම් ප‍්‍රධානය කිරීමේ උත්සව සඳහා රු.මි 300 ආසන්න විශාල මුදලක් වැය කිරීමට සැලසුම් කිරීම සම්බන්ධව ඔබගේ විශේෂ අවධානය අප සංගමය මෙයින් යොමු කරවමු. 


01. ඒ අනුව 2019.05.30 දින සිට 2019.06.15 දින තුල කඩිනමින් උත්සව 25 පැවැත්වීම සඳහා 2019.05.14 දිනැති සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් එස්.ඊ.ආර්.ටී.එම්.එස්.පී.බණ්ඩාර මහතාගේ අත්සනින් යුතු සියළුම සමෘද්ධි දිස්ත‍්‍රික් අධ්‍යක්ෂවරු වෙත එවන ලද DSD/HO/SW/14/18/04/19/1 යන ලිපියෙහි 04 කෙරෙහි අවධානය යොමු කරවන අතර සංග‍්‍රහ වියදම් දැරීම සඳහා ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් සංඛ්‍යාව එවන මෙන් දැනුම් දී ඇත. (අදාල ලිපිය ඇමුණුම 01)


02. උත්සව සඳහා වියදම නැවත ප‍්‍රතිපුර්ණය කිරීමේ පදනම මත සමාජ ආරක්ෂණ අරමුදලින් පියවා ගැනීම සඳහා 2019.05.17 දින පැවති සමෘද්ධි සමාජ ආරක්ෂණ මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද මාණ්ඩලික පත‍්‍රිකා අංක 2019/SSSF/04/01 ට අනුව ප‍්‍රචාරණ, සංග‍්‍රහ හා සහනාධාර හිමිකම් පත‍්‍ර මුද්‍රණය වෙනුවෙන් වැයවෙතැයි අපේක්ෂිත වියදම රු.මි 180 මුදලක් වියදම් කිරීමට අනුමැතිය ලබා දීම. (අදාල අනුමැතිය සඳහාන් ලිපිය ඇමුණුම 02)


03. විධිමත් ක‍්‍රමවේදයකින් තොරව ටී ෂර්ට් 125000 මිලදී ගැනීම සඳහා රු.මි 70 ආසන්න මුදලක් වැය කිරීම, එක් උත්සවකට රු.මි 4.2 බැගින් උත්සව 25 වෙනුවෙන් වේදිකා සදහා රු.ලක්ෂ 1050 ක අති විශාල මුදලක් වැය කිරීමට අපේක්ෂා කිරීම හා සහතික පත‍්‍ර මුද්‍රණය වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට අපේක්ෂා කිරීම.


04. මාණ්ඩලික පත‍්‍රිකාවට අනුව සහනාධාර ලබන පවුල් ලක්ෂ 06 සඳහා වැය අති විශාල නාස්තිකාර උත්සව වියදම සමෘද්ධිලාභීගේ තැන්පත් ඇතුලත් සමෘද්ධි ප‍්‍රජාමුල බැංකු මගීන් අයකර ගැනීමේ  තීරණය කිරීම.


05. 2013,2014 හා 2015 යන වර්ෂයන්හි තනි පුද්ගල සහනාධාරලාභීන් මෙම සමාජ ආරක්ෂණ අරමුදලට දායක කර ඇතත් දිස්ත‍්‍රික්ක 25 තුල 4000 ආසන්න පිරිසකට අදාල මරණ ප‍්‍රතිලාභය සිය යැපෙන්නන් හෝ නම් කරන ලද අය වෙත ගෙවීම් නොකර අරමුදලෙහි අරමුණට පරිභාහිර කටයුතු වෙනුවෙන් වියදම් කිරීම.
  

06. හිටපු විගණකාධිපති එච්.එම් ගාමිණී විජේසිංහ මහතා විසින් සමෘද්ධි වැඩසටහන සම්බන්දව නිකුත් කරන 2018.09.07 යන විගණන වාර්ථාවෙහි 07 හි දැක්වෙන නිරීක්ෂණ මෙන්ම 09 හි දැක්වෙන නිගමනයන්ද නොතකා කටයුතු කිරීම.


07. සහනාධාරලාභීන් තෝරා ගැනීමේදී ග‍්‍රාම නිලධාරී වසම් මට්ටමින් සැදුම්ලත් කමිටුව මගින් සාදන ලද සහනාධාර ලැබීමට සුදුසු පවුල් පොරොත්තු ලේඛණයද නොසලකමින් එක්සත් ජාතික පාක්ෂිකයන් වෙත සමෘද්ධි සහනාධාර ලබා දීමට කටයුතු කිරීම. (2019.05.24 දින අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද කථාව.)


08. ඉහත වියදම් සදහා රු.මි.180 මුදල රු.මි 300 දක්වා වැඩි කර ගැනීමේ උත්සහය හා අප විසින් පෙන්නා දෙන උක්ත කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කර මෙම නාස්තිකාර වියදම සම්බන්ධව කඩිනම් පරීක්ෂණයක් සිදු කරන මෙන් කාරුණිකව මෙයින් ඉල්ලා සිටිමු.'' යන්නයි. 





සබැඳි පුවත්