‘‘ත්‍රස්තවාදීන්ගේ රු.මි. 140 කට වැඩි මුදලක් සොයාගෙන තිබෙනවා‘‘ - පොලිස් මාධ්‍ය ප්‍රකාශක


අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයට අදාළ ත්‍රස්තවාදී කණ්ඩයමේ වත්කම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර  පවසයි.

අද (6) ගෙවුණු පැය 24ක කාලයේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ ය.

''ත්‍රස්තවාදී කණ්ඩායම සතු රුපියල් මිලියන 140ක්ට වැඩි මුදල් ප්‍රමාණයක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබෙනවා. මෙම මුදල්වලින් කොටසක්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා. ඉතිරි මුදල් ගිණුම්වල තිබෙනවා. එම ගිණුම් තහනම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවශ්‍යය පියවර ගෙන තිබෙනවා‘‘ යනුවෙන් ඔහු මේ බව අවධාරණය කළේය.