''දුම්රිය ස්ථාන 12 ක් පෞද්ගලික සමාගමකට පැවරීම වහාම අත්හිටුවන්න'' - දුම්රිය වෘත්තීය සමිති සන්ධානය



දුම්රිය ස්ථාන වල පහසුකම් වැඩි දියුණු කිරීම හා නවීකරණය කිරීමේ අරමුණ ගෙනහැර දක්වමින් දුම්රිය ස්ථාන 12 ක් පෞද්ගලික සමාගමකට පැවරීම, දුම්රිය දෙපාර්තමේන්තුවට ආදායම් ලැබෙන මාර්ග කීහිපයක් වසා දමා, දුම්රිය සේ්වය පුද්ගලීකරණය කිරීමේ උවමනාවක් පමණක් බවත්, එය රාජ්‍ය ප‍්‍රවාහන සේවය විනාශ කිරීමට ගන්නා ලද පියවරක් මිස, දුම්රිය සේවය ගොඩනැගීම සඳහා ගන්නා ලද ක‍්‍රියාමාර්ගයක් නොවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය, අර්ජුන රණතුංග වෙත අද (21) දින ලිපියක් යොමුකරන දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසා සිටියි. 

මෙහිදී ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ,

ප්‍රධාන දුම්රිය ස්ථාන 12 ක් පෞද්ගලික අංශයට 

ප‍්‍රධාන දුම්රිය ස්ථාන ලෙස සැලකෙන කොළඹ කොටුව, මරදාන, රාගම, ගම්පහ, වේයන්ගොඩ, මහනුවර හා කුරුණෑගල යන දුම්රිය ස්ථාන මුල් අදියරේදීත්, ජා-ඇල, මීගමුව, අනුරාධපුර, නානුඔය හා ඇල්ල යන දුම්රිය ස්ථාන දෙවන අදියරේදීත් මෙම  පුද්ගලික සමාගමට පැවරීමට නියමිතව ඇත. දෙහිවල කළුබෝවිල  ශ‍්‍රී සරණංකර පාරේ ගාඩර් පෙදෙසේ පිහිටි ''අයන්ගරන් මීඩියා සොලූෂන්'' (පුද්ගලික) සමාගම (IYANGARAN MEDIA SOLUTION (Private) Ltd.)   සමග ගිවිසුම් අත්සන් කර වසර 12 ක් සඳහා  මෙම දුම්රිය ස්ථාන අදාල සමාගම වෙත පවරා දීමට ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය කටයුතු කරන බව ද දැනගැනීමට ඇත.

නිසි පරිදි අනුගමනය කරන ටෙන්ඩර් ක‍්‍රමවේදයකදී වුවද, රාජ්‍ය ආයතනයක් සතු දේපලක් පුද්ගලික ආයතනයකට හෝ පුද්ගලයෙකුට බදු දීමේදී රජයට උපරීම වාසිය ලැබෙන පරිදි ගිවිසුම්ගත වියහැකි කාලය වසර පහක් (05) වුවද, නිසි ටෙන්ඩර් පරිපාටියකින් බැහැරව අදාල සමාගමේ ඉල්ලීම මත ඔබතුමාගේ කැමැත්ත පරිදි වසර 12 ක කාලයකට ගිවිසුම්ගතව මෙම ගණුදෙනුව සිදුකිරීමට නියමිත බවද දැනගැනිමට ඇත.

වසරකට රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක් අහිමිවීමේ අවධානමක්

මෙම ගිවිසුම කි‍්‍රයාත්මක කළහොත්, වෙළඳ දැන්වීම් ප‍්‍රචාරය කිරීමෙන් මාසිකව රු. 410,000/= ක මුදලක් ද ස්ථාවර භෝජනාගාර පවත්වාගෙන යාමෙන් මාසිකව රු. 4,800,000/= පමණ ද, අනිකුත් අලෙවිසැල් පවත්වාගෙන යෑමෙන් රු. 900,000/= අධික මුදලක් ද,  චිත‍්‍රපට හා ටෙලිනාට්‍ය රූගත කිරීමෙන් හා ඡායාරූප ගැනීමෙන් මාසිකව රු. 150,000/= අධික මුදලක් ද වශයෙන් කිසිදු වියදමකින් තොරව දුම්රිය දෙපාර්තමේන්තුවට වාර්ෂිකව ලැබෙන රුපියල් හත් කෝටි පනස් ලක්‍ෂයකට (7,500,0000/=)  අධික ආදායමක් අහිමිවන බවත්, දුම්රිය දෙපාර්තමේන්තුව නිසි වාණිජ ප‍්‍රවර්ධන වැඩපිළිවෙලක් අනුගමනය කරන්නේ නම් මෙම මුදල දෙගුණයක් දක්වා වැඩි කළ හැකි බවද පෙන්වා දෙමු.

දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලිකරණය නොකරන බව වෘත්තීය සමිති හා දුම්රිය සේවකයින් හමුවේ ප‍්‍රකාශ කළ ද, මීට පෙර සිටි ප‍්‍රවාහන ඇමතිවරුන් මෙන්ම ඔබතුමාද දුම්රිය දෙපාර්තමේන්තුව සතු ආදායම් මාර්ග පුද්ගලික සමාගම් වලට පැවරීම පුද්ගලීකරණය හැර අන් කවරක්ද යන්න පැහැදිලි නැත. පුද්ගලික ආයතන හරහා සිදු කරන මෙම ගණුදෙනුව අනීතික ගණුදෙනුවක් වන බැවින්, පවතින සාමාන්‍ය නීතියට හා ක‍්‍රමවේදයට පටහැනිව යම් යම් දේ කිරීමට යොදාගන්නා ආණ්ඩුවේ ආවුදය කැබිනට් අනුමැතිය වන හෙයින්, මෙම ගණුදෙනුව සඳහා ද කැබිනට් අනුමැතියක් ගැනීමේ සූදානමක් පවතින බවද වැඩිදුරටත් දැනගැනීමට ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුවට වින කටින්නේ කවුද ?

මෙතෙක් පැවති ආණ්ඩුවල සියළුම ඇමතිවරු සහ නිළධාරීන් දුම්රිය ගොඩනැගීම සඳහා ඉතාමත් හොඳ අරමුණු විවෘත තලයේදී පෙන්වා දුන්නද, ඒ සියල්ල දුම්රිය දෙපාර්තමේන්තුවේ අයහපතට හා පරිහානියට හේතු වූ බවද, අයන්ගරන් මීඩියා සොලූෂන් ප‍්‍රයිවට් ලිමිටඩ් (IYANGARAN MEDIA SOLUTION (Private) Ltd.) ආයතනය සමග සිදු කිරීමට නියමිත මෙම ගණුදෙනුවද අනිවාර්යයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ විනාශයට හේතුවක් වන බවද අවධාරණය කර සිටිමු.

එසේ හෙයින්,  මෙම ගිවිසුමට අත්සන් කිරීම හෝ මෙම ගණුදෙනුව සඳහා කැබිනට් අනුමැතියක් ලබාගැනීම  වහාම අත්හිටුවන ලෙස ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.'' යන්නයි.