සිරිසේනට කළ හැකි එකම ජාතික මෙහෙවර සහ මීළඟ ජනාධිපති ?


- නිලන්ත මානවසිංහ -

මීළඟ ජනපති කවුද ? 

රටේ මීළඟ ජනාධිපති වීමට සිහින දකින්නෝ බොහෝ වෙති. 2020 දී සාම්ප්‍රදායික දේශපාලන රටාවෙන් වෙනස් වූ අයෙකු ජනාධිපති වන බව, මෙරට බුද්ධි අංශයක සේවය කරන පර්යේෂකයෙකු කියා ඇත. ඔහුගේ  මතයට විශාල ප්‍රසිද්ධියක් ලැබී ඇත.

කේන්දර සහ ග්‍රහලෝක බලා සාස්තර කියමින් අහවාලා දිනුවේ නැත්තන් වෙඩි තබා ගන්නවා යැයි පම්පෝරි ගැසූ නූල්-සූත්තරකාරයින් නියෝජනය කරන කාසියේ අනෙක් පැත්ත මෙම පර්යේෂකයා පන්නයේ පුද්ගලයින් නියෝජනය කරන බව පෙනේ. කෙසේ නමුත්, සිරිසේන මහතා ජනාධිපති වීමට සිහිනෙන්වත් නොසිතූ අවධියක ඔහු ජනාධිපති වන බව තමන් කිව්වේ යැයි ඔහු කියන්නේය. ඒ අකාරයෙන්ම 2020 දී  (අ)දේශපාලනඥයෙකු ජනාධිපති වීමට නියමිත බව හෙතම සඳහන් කොට ඇත. මෙම සියලු  කතා  එක් ප්‍රධාන ගැටලුවක් මූලික කරගෙන ඇත. ඒ නම්, රටේ මීලඟ ජනාධිපති වන්නේ කවුද යන්නයි. "නායකයින් නිර්මාණය කළ නොහැකිය, ඔවුහු පහළවිය යුතුය." නායකයෙකු බලෙන් නිර්මාණය කිරීම නමැති විපතේ ප්‍රමාණය සිරිසේන මහතාගේ ජනාධිපති ධූරකාලය විසින් ඔප්පු කොට ඇත.

ජනපති සිහින දකින දෙදෙනෙක් 

මේ වන විටත් අනාගත ජනාධිපති සිහින දකින කිහිපදෙනෙකු මෙරට සිටිති.

2015 වසරේ මෙරට දේශපාලන ඉතිහාසයේ අමිහිරිතම පරාජයට ලක් වී නිවසට පැනගිය මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය අවසන් වී මාස කිහිපයකට පසු ඔහුගේ ඇමෙරිකානු පුරවැසි සහෝදරයින්ගෙන් කෙනෙකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතා සිරිසේන මහතාගෙන් පසුව ජනාධිපති වීමේ සිහිනය දැකීම ආරම්භ කළේය.

සිහිනයට සරිලන පරිදි ඔහුගේ  පෞර්ෂය ඉහළ දැමීම, සෑම දෙයක්ම දන්නා අයෙකු බව පෙන්වීම සඳහා ඔහුගේ "බුද්ධි ප්‍රභාව" ගැන ඔහුට හිතවත් මාධ්‍යය යොදා ගුණ වැයීම,විවිධ දෑ ගැන ලියනු ලැබූ පොත් රාශියකින් සපිරි කාමරයක් තම නිවෙසට පැමිණෙන මාධ්‍යයවේදීන් සඳහා වෙන් කොට තමන්ට වඩා ඉහළින් ඇති පොත් වලට විශාල අවධානයක් ලැබෙනසේ මාධ්‍යයවේදීන් සමග කතා-බහ කිරීම, ආදී දෑ බොහෝමයක් ගෝඨාබය රාජපක්ෂ විසින් සිදු කරනු ලැබීය. මැජික් කරුවෙකු තම මැජික් පොල්ල භාවිතා කොට මැජික් පෙන්නන දෙස බලා සිටින්නාසේ ගෝඨාබගේ වික්‍රම දෙස බලා සිටීමට බොහෝ දෙනෙකු කැමති වූහ. මේ අතර ගෝඨාබය, යුද්ධය, සහ යුද ශිල්පය ගැන පමණක් නොව, නව ලිබරල් වාදය,  නව යටත් විජිත වාදය, විවිධ යුරෝපානු දාර්ශනික ප්‍රවාහයන් ආදිය ගැන සිංහලෙන් කතා කළේය. 

ගෝඨාගේ සිහිනය 

ගෝඨාභයගේ සැබෑ අධ්‍යාපන සුදුසුකම මොනවාද යන්න මා  නොදන්නේය. එසේම බොහෝ දෙනෙකු ඒ ගැන නොදන්නවා විය හැකිය. නමුත්, ඔහු, තම කල්පනා ශක්තිය අඩුබව කියමින්  යුදහමුදා සේවය හැරගොස් ඇමෙරිකාවේ පුරවැසිභාවය ලබාගත් අයෙකු බව බොහෝ දෙනෙකු කියති. කෙසේ වෙතත්, 2009 දී මෙරට අභ්‍යන්තර ගැටුම් අවහර වීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතාට  මෙන්ම ඔහුටද සම්මාන ආචාර්යය පදවි රාශියක් ලැබුණි.

ඊට අමතරව 2015 දී මහින්ද රාජපක්‍ෂ මහතා පැරදී ගෙදර ගිය පසු ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පුරුවට කැඳවාගෙන ගොස් ඩිප්ලෝමාවක් හැදෑරීම සඳහා  අවස්ථාවක් ලබා දුන්නේය. ඒ එරට ජීවත්වන ශ්‍රී  ලාංකික මහාචාර්යයවරයෙකු වන රෝහාන් ගුණරත්න විසිනි. මෙම ගුණරත්න, ගෝඨාබය  මාර්ගයෙන් රටේ ඇති ඉතාම සංවේදී ස්ථානවලට කිසිඳු අවහිරයක් නොමැතිව රිංගා යෑමටත්, ඒවායේ තොරතු තමන්ගේ සම්පතක් කර ගැනීමටත් අවස්ථාව ලැබුණි.  මෙම ත්‍රස්තවාදී විශේෂඥයා මේ දින වල ජනාධිපති සිරිසේනට ගුරුහරුකම් ලබාදෙන "පණ්ඩිත් " වී සිටින්නේය.

නමුත්, මෙම විශේෂඥයා ලබාදෙන බොහෝමයක් තොරතුරු වල ඉලක්කය ඔහුගේ පෞද්ගලික එදිරිවාදීකරුවන් මෙරට දේශපාලන නායකත්වය ගොනාට අන්දවා මෙල්ල කිරීමය. මෙම අප්‍රසන්න කටයුත්ත ඉතාම හොඳින් කිරීමට මෙම කුප්‍රකට විශේෂඥයා එනම්, කොටි සංවිධානය පරාජය කිරීම සිහිනයක් පමණක් යැයි කියූ මෙම පුද්ගලයා සමත් වී සිටීම මෙම ජාතියේ  මන්ද-පෝෂණය මනාව ප්‍රදර්ශණය කරනු ලබයි.

තැනින් තැනින් අහුලා ගත් තොරතුරු සහ නම් කිහිපයක් හැරෙන්නට ත්‍රස්තවාදය පිළිබඳ මෙම විශේෂඥයා ඉදිරිපත් කොට ඇති න්‍යායක් හෝ පිළිගත හැකි වාදයක් ( තියරියක්) නැත.  මෙවැනි පුදගලයෙකු මෙරට වත්මන් ජනාධිපතිගේ සහ අනාගත ජනාධිපතිවීමට සිහින දකින ගෝඨාබය රාජපක්ෂගේ "මහෝෂධ" වී රටේ ජාතික ආරක්ෂාව අතට ගැනීමට එතරම් යහපත් නැත.

රටේ බුද්ධි අංශ සහ අනෙකුත් ආයතන වලට නැටීමට සිදු වී ඇත්තේ මෙම ව්‍යාජ කෛරාටික  බුද්ධිමතාගේ පදයටය. කොටි සංවිධානය පරාජය කිරීම සිහිනයක් යයි කිහිපවතාක් කියූ මෙම විශේෂඥයා පසු කාලෙක කොටි සංවිධානයට සම්බන්ධ බව එක්තරා සංවිධානයකට චෝදනා කිරීමෙන් පසු ඩොලර් ලක්ෂ ගණනක් වන්දි ගෙවූ පුද්ගලයෙකි. මෙම බොරුකාරගේ ව්‍යාජත්වයේ දිග පළල මැනීමට නොහැකි තරම් විශාලය.

කෙසේ හෝ, ගෝඨාබය රාජපක්ෂ තම සිහිනය වෙනුවෙන් සටන් කරන්නේය. ඔහු මෙරට මීළඟ ජනාධිපති වීමට සිටින එකම සුදුස්සා බව ඔප්පු කිරීමට නොකරන උත්සහයක් නැත. මෙම සිහිනය ඉටු කර ගැනීම සඳහා, ඔහුට සිරිසේන අත්‍යවශ්‍යය වේ. නමුත්, අනෙක් පසින් සිරිසේනද තමන්ගේ දෙවැනි වාරයක් ගැන සිහින දකින්නෙකි.

මහින්දගේ ආශාව 

මෙම දෙදෙනාගේ එකම ආශාව, හමුවේ මහින්ද රාජපක්ෂම කටයුතු කරන ආකාරය අපූරුය. "ගෝඨාට කැමැත්ත දී ඇති බව මම අකියන්නේ නෑ, ඒ වගේම  ඉදිරියේදී ගන්න ක්‍රියාමාර්ග ගැන ජනාධිපති සිරිසේන මැතිතුමා එක්කත් අපි කතා බහ කරනවා," ආදී සමාන අදහස් මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කරන්නේය. මහින්ද දකින්නේ අගමැති සිහින්යේය. මහින්ද යනු, තාර්කිකව සිතන ඕනෑම පුද්ගලයෙකුට ඉතාම අපුල දනවන පුද්ගලයකු වුවද ඔහු මෙරට සිංහල බහුතරයක් මන්මුලාවේ හෙළීමට ඉතාම සමත් පුද්ගලයකි.  ඔහුට ගෝඨා දිනුවද, කුමන හෝ ආශ්චර්යකින් සිරිසේන දිනුවද, අවශ්‍යය වී ඇත්තේ රටේ අගමැති වීමටය. දින 52 ක් තිස්සේ විඳි සැප තවත් වසර කිහිපයක් විඳිම ඔහුගේ සිහිනය වේ.

කෙසේ වෙතත්, ජනාධිපති  සිහිනය එළියට දැමීමට ගෝඨා ඉස්සර විය. එසේම ඔහුට ජනාධිපති වී රටට කළ හැකි වෙනස් දෙයක් තිබේ යැයි සඳහන් කළ නොහැකිය. ජනාධිපතිවරණය පවත්වන බව සඳහන් කොට, දින නියම කළහොත්, පූර්ව මැතිවරණ ප්‍රචාරණ  කටයුතුවලදීම, ගෝඨාබය අතරමං වනු ඇත.

පාඨලීගේ උත්සහය 

මේ අතර ජනාධිපති වීම සඳහා උත්සහ කරණ තවත් මහත්මයෙක් සිටින්නේය. ඔහු පාඨලී චම්පික රණවකය. අධ්‍යාපන සුදුසුකම්, සහ දේශපාලන අත්දැකීම් අතින්  ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා සුදුසුකම් ලද්දෙකි. නමුත්, ඔහුගේ වත්මන් නායක වික්‍රමසිංහ ඔහුට අපේක්ෂතකත්වය ලබා දීමට ඉදිරිපත් වීමට ඇති සම්භාවිතාව ඉතාම අඩුය. බොහෝ සාර්ථක ආශාවන් ජය ගැනීම සඳහා තමන්ට කෙතරම් උපයාන් තිබුණද මහුණ දීමට සිදුවන පාරිසරික තත්වයන් යටතේ විනාශ වී දියවී යන්නේය.  මේ නිසා, රණවක මහතාට ජයගැනීමට නම් වෙනම දේශපාලන කඳවුරක් නිර්මාණය කර ගැනීමට සිදුවේ. නමුත් එවැනි තත්වයකට දේශපාලන පරිසරය සකස් වී නොමැති හෙයින්, රණවකගේ සිහිනය එතරම් සඵල වේ, යැයි  සිතීම ඉතාම අසීරුය. 

මේ අතර ධම්මික පෙරේරා, රොහාන් පල්ලේවත්ත  සහ නගානන්ද කොඩිතුවක්කු ආදී පුද්ගලයින් ගැනද අනාගත ජනාධිපති මාතෘකාවට අදාළව කියවේ. ධම්මික පෙරේරා වැනි පුද්ගලයෙකු රටක ප්‍රධාන තනතුර සඳහා විකල්පයක් වීම දේශපාලනික වශයෙන් රට කඩා වැටී ඇති ගැඹුරු ස්වභාවය  ඔප්පු කරනු ලබයි. රාජ්‍යය ව්‍යුහයෙන්ම දිරා ගොස් ඇත.

පෙරදා, මෙරට කොටස් වෙළඳපොළ තමන්ගේ අභිමතයට අනුව දේශපාලන බලාධිකාරිය යොදා ධනවතුන් වූ චෞරයන්, රාජ්‍යය බලය කෙසේ හෝ තමන්ගේ අතට ගැනීමට උත්සහ කරති. කළ අපරාධ හේතුවෙන් හිරේ ලැගිය යුතු මෙම පුද්ගලයින්, මිලියන විසිදෙකකට ආසන්න පුරවැසියන්ගේ දෛවය තීන්දු කරන්නන් බවට පති වී විටීම කෙතරම් කනගාටුදායක කාරණයක්ද ?

සිරිසේනට කළහැකි ජාතික මෙහෙවර කුමක්ද ? 

මෙවැනි අරාජික තත්වයකදී ඉදිරි ජනාධිපතිවරණය ඉතාම අප්‍රසන්න කෙළියක් වීමට ඇති ඉඩ-කඩ වැඩිය.  කුමන හෝ උප්පරවැට්ටියකින් දෙවැනිවරත් ජනාධිපති වීමට සිහින දකින සිරිසේනගේ කටයුතු වලින් මෙම අරාජික තත්වය තවත් තියුණු විය හැකිය.  මුළු රටම පාහේ සිරිසේන ප්‍රතික්ෂේප කරන පුද්ගලයෙකි. ඒ ගැන කිසිම විවාදයක් නැත. නොගැලපෙන පුද්ගලයෙකු වැරදි තැනක තබා ඔහුගෙන් ජාතික අභිලාෂයන් බලාපොරොත්තු වීම ඉතාම හාස්‍යයජනක කාරණයක් බව බොහෝ දෙනෙකුට දැන් වැටහේ. එනම්,  ඔහු රාජ්‍යය පරිපාලනයේ අසමතෙකු ලෙස ජනතාව අතර පොදු පිළිගැනීමක් තිබේ.

මෙවැනි තත්වයක් යටතේ සිරිසේන මහතාට කළහැකි ජාතික මෙහෙවරක් තිබේ. එනම්, තමන්ගේ සියලු ආශාවන් ප්‍රහීණ කොට,  1978 සිට රටටම කොඩි විනයක් වී ඇති විධායක ජනාධිපති ධූරය අහෝසි කරමින් තම ධූරයෙන් ගෞරවාන්විතව සමුගැනීමය. විධායකජනාධිපති ක්‍රමය ඉතිහාසයේ කොටසක් බවට පත්කිරීමය.  එය මෙරට දේශපාලන ඉතිහාසය පමණක් නොව, අනාගත පරම්පරාවේ ඉරණමද යහපත් ආකාරයෙන් වෙනස් කිරීමට ගතහැකි ප්‍රභල පියවරක් වනු ඇත. ඒ හැරෙන්නට සිරිසේන මහතාට තවත් යාහැකි දේශපාලන ගමනක් නැත.