''බිය සැක නැතිව දරුවන් පාසලට යවන්න‘‘ - යුද හමුදාපති


මේ වනවිට ජන ජීවිත යථා තත්ත්වයට පත්වී ඇති බවත් සියලුම පාසල් වල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් ත‍්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කරන බැවින් අනියත බියකින් තොරව  දරුවන් පාසල් වෙත යැවීමට කටයුතු කරන ලෙස යුද හමුදාපති මහේෂ් සේනානායක  අද (20) දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මාපියන්ගෙන් ඉල්ලා සිටී. 

ඔහු වැඩිදුරටත් පවසන්නේ, 

ජන ජීවිතය යථා තත්ත්වයට පත්වෙලා 

‘‘පසුගිය අපේ‍්‍රල් 21 වන දින සිදුවු අවාසනාවන්ත අන්තවාදී ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් සමාජයේ ඇතිවු කම්පනය සහ බිය නිසා ශ‍්‍රී ලාංකිකයන්ගේ ජන ජීවිතයේ බොහෝ කටයුතු අඩාල විය. මේ සිදුවීමත් සමග රටේ සංවර්ධනයට සහ ආර්ථිකයට සෘජු දායකත්වයක් ලබාදෙන රජයේ සහ පෞද්ගලික ආයතනවල සේවක සේවිකාවන් සේවයට වාර්ථා කිරීමේ අඩුවීමක් සහ ජන ජීවිතය අඩාල වීමක් සිදුවිය. එමනිසා රටතුළ ආරක්‍ෂාව තහවුරු කර ජන ජීවිතය යථාතත්වයට පත් කිරීමට ත‍්‍රිවිධ හමුදාව හා පොලිසිය දැඩි කැපවීමකින් අවශ්‍ය සෑම ස්ථානයකටම ආරක්‍ෂාව ලබාදීමට කටයුතු සිදුකරන ලදි.

ත‍්‍රස්ත ප‍්‍රහාරය සිදුවී ඉතාමත් කෙටි කාලයක් තුළ සන්නද්ධ හමුදා සේනාධිනායක ලෙස අතිගරු ජනාධිපතිතුමා විසින් යුද්ධ හමුදාව ප‍්‍රමුඛ ත‍්‍රිවිධ හමුදාවට සාමය ආරක්‍ෂා කිරීමට සහ ත‍්‍රස්තවාදීන් විනාශ කිරීමට අවශ්‍ය සියලූ බලතල ලබාදුන් බැවින් යුද්ධ හමුදාව ත‍්‍රස්තයන් විනාශ කිරීමට සහ ත‍්‍රස්ත ක‍්‍රියාවන්ට සම්බන්ධ අයවලූන් අල්ලා ගැනීමට සිදුකරන සියලූ මෙහෙයුම් සහ පරීක්‍ෂණ සඳහා සිය උපරිම දායකත්වය සපයමින් සිටියි. එම මෙහෙයුම් සහ පරීක්‍ෂණ මේ වන විට ඉතාමත් සාර්ථක ප‍්‍රගතියකින් ප‍්‍රතිඵලදායි ලෙස ඉදිරියට සිදුකරමින් පවතී. ත‍්‍රස්තවාදීන් ඉලක්ක කරගත් ආරක්‍ෂක අංශ මෙහෙයුම් සහ රට තුළ යොදා ඇති ආරක්‍ෂක වැඩපිළිවෙල හේතුවෙන් රජයේ සහ පෞද්ගලික අංශවල සේවක සේවිකාවන්ගේ සේවයට පැමිණීම සහ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම වර්ථමානයේ ඉතා සතුටුදායක ලෙස වර්ධනය වී ඇත.

පාසල් ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක් 

මේ වසරේ දෙවන වාරය සඳහා පාසැල් යලි විවෘත කල මොහොතේ පාසල්වල ආරක්‍ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබුනද බොහෝ දෙමව්පියන් පැතිර ගිය කටකතා සහ තහවුරුකර නොගත් තොරතුරු හේතුවෙන් තම ආදරණීය දූ දරුවන් පාසලට එවීමට මැලි කමක් දක්වන ලදී. මා මේ අවස්ථාවේදී සියලූම දෙමව්පියන් වෙත මතක්කර සිටිනුයේ සියලූම පාසල් සඳහා ආරක්‍ෂාව සැපයීම ත‍්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ප‍්‍රමුඛතම කාර්යයක් ලෙස සලකා ආරක්‍ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලූම පියවර ගෙන ඇති බැවින් අනියත බියකින් තොරව ඔබගේ දරුවන් පාසල් වෙත යැවීමට කටයුතු කරන ලෙසයි.

ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව ප‍්‍රදේශ කිහිපයකින් සාමය කඩවන ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියා කිහිපයක් වාර්ථා වුවත්, යුද්ධ හමුදාව ප‍්‍රමුඛ ත‍්‍රිවිධ හමුදාව සහ පොලීසිය මගින් එම ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියා පාලනය කර ඒ සඳහා සම්බන්ධ වූවන් බොහෝ දෙනෙක් නීතිය ඉදිරියට රැගෙන ඒමට කටයුතු කර ඇත. එවැනි ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියා නැවත ඇති නොවීමට ත‍්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් ක‍්‍රියාවට නංවා ඇත. පසුගිය දින දෙක තුල වෙසක් උත්සවය වෙනුවෙන් දිවයිනේ බෞද්ධ ආගමික ස්ථාන ආවරණය වන ලෙස ආරක්‍ෂක වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කල අතර ඒ හේතුවෙන් කිසිදු සාමය කඩ කිරීමකින් තොරව වෙසක් උත්සවය නිමිත්තෙන් බෞද්ධ ආගමික ස්ථාන වල පැවැත්වු ආගමික වැඩසටහන් සාර්ථකව නිමා කිරීමට හැකිවිය.

ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛව 

'රට රකින ජාතිය' ලෙස ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාව අප රටෙහි සියලූ පුරවැසියන්ගේත් දේපළවලත් ආරක්‍ෂාව වෙනුවෙන් සැමවිට අවධියෙන් සිටින බවත් අප රටේ අනාගතය වන ළමා පරපුර ආරක්‍ෂා කිරීම ප‍්‍රමුඛත්වයක් ලෙස සලකා පාසැල්වලට ආරක්‍ෂාව සපයා ඇති හෙයින් සියලූ සිසු දරුවන් පාසැල් වෙත යොමුකරන මෙන් දෙමව්පියන්ගෙන් මා මේ අවස්ථාවේ යලිත් ඉල්ලා සිටින අතර අවසාන වශයෙන් අප විසින් දියත් කර ඇති ආරක්‍ෂක කටයුතු සඳහා සියලූම ශ‍්‍රී ලාංකිකයන්ගෙන් අවංක සහයෝගයක් ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි.‘‘ යන්නයි.