අගමැතිවරයා හා කාදිනල්තුමා අතර හමුවක්


අද පෙරවරුවේ බෝම්බ පිපිරවීම් සිදුවූ ස්ථාන කිහිපයකට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහි වත්මන් තත්ත්වය සහ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලූවේය.

අගමැතිවරයා හා කාදිනල්තුමා අතර සාකච්ඡාවක්

සවස 2.00 ට පමණ කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුණිඳුන්ගේ දේවස්ථානය වෙත පැමිණි වික්‍රමසිංහ එහි පූජකතුමන්ලා සමග සිද්ධිය සම්බන්ධව සාකච්ඡා කළේය.

අනතුරුව මීගමුව, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙත පැමිණි අගමැතිවරයා, අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් ඇතුලූ එම දේවස්ථානයේ පූජකතුමන්ලා සහ දේශපාලන ක්‍රියාකාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.

දිවයිනේ දේවස්ථාන සහ තවත් ස්ථාන කිහිපයක බෝම්බ පිපිරීමෙන් සිදුව තිබෙන ජීවිත හානි හා දේපොළ හානි පිළිබඳව මෙන්ම ඉදිරියේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

මීගමුවේ, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දී මාධ්‍යවේදීන් අමතමින් ස්ථාන කිහිපයක අද සිදුවූ පිපිරීම් නිසා ජීවිත හානි වූ සියලූ දෙනාට සහ ඔවුන්ගේ පවුල්වල සියලූ දෙනාටත්, තුවාල සිදුවූ සියලූ දෙනාටත් රජයේ කණගාටුව පළ කර සිටින බව පැවසීය.

අගමැති රනිල් හා ඉන්දීය අගමැති අතර සාකච්ඡාවක් 

මෙම සිද්ධීන් සම්බන්ධව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තමන් සමග දුරකථනයෙන් සාකච්ඡා කළ බවත්, එහිදී ඉන්දියාවෙන් අවශ්‍ය ඕනෑම සහයෝගයක් ශ්‍රී ලංකාවට ලබා දීමට සූදානම් බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන් බවත් රනිල් වික්‍රමසිංහ පැවසීය.

පාකිස්ථාන විදේශ අගමැති හා අගමැතිවරයා අතර සාකච්ඡාවක් 

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව පාකිස්ථාන විදේශ අමාත්‍ය ෂා මෙහෙමුඩ් ක්වරේෂි ද අග්‍රාමාත්‍යවරයා අතර ද  දුරකථන මාර්ගයෙන් සාකච්ඡා කරමින් පාකිස්ථානයේ කණගාටුව පළ කර සිටියේය. 


මේ අතර උද්ගතව තිබෙන තත්ත්වය හේතුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (22) දින අරලියගහ මන්දිරයේ සහ අනෙකුත් ප්‍රදේශවල පැවැත්වීමට සූදානම් කර තිබූ සියලූ වැඩසටහන් අවලංගු කර තිබේ.