නිල ආරක්ෂක තොරතුරු ගැන පමණක් විශ්වාසය තබන්න


ත්‍රස්තවාදයට එරෙහිව ආරක්ෂක මෙහෙයුම්වලට අදාළව තොරතුරු වාර්තා කිරීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කරන ලද නිල පුවත් පමණක් පිළිගන්නා ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. 

මේ ගැන නිවේදනයක් නිකුත් කරන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ,

‘‘පසුගිය 21 වන දින සිදුවූ මිලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය හේතු කොට ගෙන එම ත්‍රස්තවාදී ක්‍රියාවන් මුලින් උපුටා දැමීම සඳහා රජය මේ වන විට ත්‍රිවිධ හමුදාව ඇතුලු පොලිසියට අවශ්‍ය බලතල පවරාදී ඇති බැවින් මෙම සිද්ධීන්ට සම්බන්ධ සැකකරුවන් හා අදාළ පුද්ගලයන් අත්අඩංගුවට සිදුකරනු ගැනීම, විමර්ශන හා මෙහෙයුම් කටයුතු ආරක්ෂක හමුදාව විසින් අඛණ්ඩව සිදුකරනු ලබයි. ඒ පිළිබඳ තොරතුරු වාර්තා කිරීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරන ලද නිල පුවත් පමණක් පිළිගන්නා ලෙස රජය මහ ජනතාවගෙන් ඉල්ලා සිටී.


ආරක්ෂක අංශ විසින් සිදුකරනු ලබන මෙම මෙහෙයුම් හා විමර්ශන කටයුතු පිළිබඳව අවිධිමත් සන්නිවේදනයන් ඔස්සේ විවිධ වාර්තා වීම් සිදුවීම හේතුකොට ගෙන මහජනතාව අනවශ්‍ය ලෙස කලබලයට පත්වීම මෙම මෙහෙයුම් විමර්ශන කටයුතුවලට ද බාධාවක් ලෙස ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන තිබේ.


එමෙන්ම මෙම මෙහෙයුම් කටයුතුවලට අදාළව ඇතැම් පුද්ගලයන් විසින් සිදුකරනු ලබන කෙටි පණිවුඩ, කටකතා හා වෙනත් අවිධිමත් සන්නිවේදනයන් හේතුවෙන් මහජනතාව දැඩි ලෙස කලබල වීම ඔවුන්ගේ දෛනික කටයුතුවලට බාධාවක් වන බැවින් විමර්ශන හා මෙහෙයුම් කටයුතු පිළිබඳව මහජනතාවට දැනුම්වත් කළයුතු ඉතා වැදගත් තොරතුරු පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරන ලද නිල ප්‍රවෘත්ති මගින් දැනුම්දීමට අවශ්‍ය කටයුතු සලසා ඇත. ඒ අනුව අවිධිමත් සන්නිවේදනයන් ඔස්සේ ලැබෙන තොරතුරුවලට කලබල නොවන ලෙස සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගෙන් රජය ඉල්ලා සිටී..‘‘ යන්නයි.