සැලසුම් සහගත මිනිස් ඝාතනය
එය මනාව සැලසුම් කළ මහා මිනිස් ඝාතනයකි. මෙය, වෙන කිසිවක් නොව, අමු ත‍්‍රස්තවාදයයි. එය, කිසිවෙකුට ඉවසිය හැකි හෝ කිසිවෙකු ඉවසිය යුතු දෙයක් හෝ නොවේ. එය වහාම මුලිනුපුටා දැමිය යුතුය.
කොළඹ, මීගමුව සහ මඩකලපුවේ කතෝලික දේවස්ථානවල සහ කොළඹ ප‍්‍රධාන සංචාරක හෝටල් කිහිපයක පාස්කු ඉරිදා සිදු කළ ඒ මහා ඝාතනය, රුදුරු තිස් අවුරුදු වාර්ගික යුද්ධයක් අවසන් කොට වසර දහයක් තිස්සේ අප භූක්ති විඳි සාමයේ විරාමය අවසානයකට පත්කරවන සිද්ධි දාමයක් වීමට යන්නේද ?. ඒ අඳුරු යුගයට ආපසු යාමට නම්, රටේ සිටින සිහි මොළේ ඇති කිසිවෙකුත් කැමැති නොවනු ඇත.
ඒ කාලයේ භීෂණ දවස් සිහියට නගා ගැනීම අද පවා අතිශය ගොරතර ය. දරුවන් පාසල් ඇරී ගෙදර එන තෙක් නොඉවසිල්ලෙන් දෙමාපියන් බලා සිටි සැටි, එකම තැනකට ගියත්, බෝම්බයකට හසුවෙතැයි බියෙන් බිරිඳ සහ සැමියා එක වාහනයක නොගොස් වෙන් වෙන්ව ගමන් කළ සැටි අපේ මතකයට නැගේ. නිදහසේ ගමනාගමනය පිළිබඳ අයිතිය නීති පොත්වලට පමණක් සීමා වූ ඒ යුගයේ ඈත ගම්දනව්වල පවා මාර්ග බාධක මැද වාහන සහ පුද්ගලයන් නිරතුරු පරීක්ෂාවට ලක්කළ සැටි තවම අපට මතක ය. හැඳුනුම්පත ගෙන යාමට අමතක වීම නිසා පොලීසියේ ලැගීමට ඇතැමුන්ට සිදු වූ අවස්ථා එදා එමට ය. බලධාරීන් විසින් මහ පාරේ ආරක්ෂක සෝදිසි මෙහෙයුම් කරන අතරේ පැය ගණන් වාහන පෝලිමේ සිටින්නට සිදු වූ අවස්ථා තවම අපට මතක ය.
වසර දහයකට පෙර
දැන් වසර දහයකට කලින් මිනිස් සිරුරු සහ අතපය, මහ පාරේ සහ වාහන ඇතුළේ සුනුවිසුනු වී ගිය අවස්ථා දකින්ට ලැබුණි. වෙඩි තබා ඝාතනය කළ හෝ බෝම්බයකට හසු වී මහ පාරේ ඝාතනයට ලක්වූ සිය ගණන් මිනිසුන් එදා දකින්ට ලැබුණි. අප මේ නැවත ගමන් කරන්නේ ඒ බිහිසුණු යුගයටද ? එවැනි රුදුරු මාවතක යළි ගමන් කරන තැනට රට පත්කිරීමේ කිසි කැමැත්තක් කිසිවෙකු තුළ තිබිය නොහැක.
පාස්කු ඉරිදා මහා ඝාතනය කළ අපරාධකරුවන්ගේ අරමුණ වන්නට ඇත්තේ කුමක්ද? ඒ අරමුණ කුමක් වෙතත්, ඔවුන් ඒ සඳහා යොදාගෙන තිබූ ක‍්‍රමය නිසැකවම තිරිසන් ය. අහිංසක මිනිසුන්, ගැහැනුන් සහ දරුවන් අමු අමුවේ ඝාතනය කිරීමට ඔවුන්ව මෙහෙයවන ලද ඒ දෘෂ්ටිවාදය කුමක් වෙතත්, ඒ ගොරතර ක‍්‍රියාව කිසි මිනිස් භාෂාවකින් යුක්ති සහගත කර ගැනීමට ඔවුන්ට පුළුවන් කමක් නැත.
මරාගෙන මැරෙන බෝම්බකරුවෝ
මේ ප‍්‍රහාරයන් පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලීසිය මගින් මෙතෙක් සොයාගෙන ඇති තොරතුරු පිළිබඳ විමර්ශනය කරන රජයේ රසපරීක්ෂකවරයා නිරීක්ෂණය කොට ඇති පරිදි, පල්ලිවල සහ හෝටල්වල සිදු කරන ලද ප‍්‍රහාරයන්ගෙන් හයක්ම මෙහෙයවා ඇත්තේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසිනි. එසේම ඒ අමානුෂික අපරාධය පසුපස සිටින්නේ මුස්ලිම් කණ්ඩායමක් බවත් මේ වන විට අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත්, ක‍්‍රියාව මොන තරම් තිරිසන් වෙතත්, ඒ මගින් සමාජය කෙරෙහි ඇති කෙරෙන කම්පාව මොන තරම් දරුණු වෙතත්, ඒ අපරාධය පිළිබඳ වරද සමස්ත මුස්ලිම් ප‍්‍රජාව මත පැටවීමට කෙනෙකු ඉක්මන් විය යුතු නැත. ඒ ප‍්‍රජාව අතරේ අතරින්පතර ගැටුම්කාරී සිදුවීම් ඇති වී ඇතත්, ප‍්‍රජාවක් වශයෙන් මුස්ලිම් ජනතාව ප‍්‍රචණ්ඩත්වය වෙත නැඹුරු වී ඇති බවට ඓතිහාසික සාක්ෂි කිසිවක් නැත.
මෙය හුදෙකලා සිදුවීමක් නොවේ
එසේ වෙතත්, එම ප‍්‍රජාවට, විශේෂයෙන් එහි නායකයන්ට, මේ තත්ත්වයේ ඇති බරපතලකම අවබෝධ කර ගැනීමේ වගකීමක් තිබේ. මන්ද යත්, ඔවුන්ගේ ප‍්‍රජාවේ සාමාජිකයන් පිරිසක් විසින් ඉරිදා දියත් කළ රුදුරු ප‍්‍රහාරය නිසා ඔවුන්ගේ ආගමේ නාමයට ඉමහත් හානියක් දැනටමත් සිදුව ඇති බැවිනි. මේ සිදුවීම, හුදෙකලා සිදුවීමක් වශයෙන් නොව, ලෝකයේ විවිධ තැන්වල, විශේෂයෙන් මැද පෙරදිග රටවල විවිධ අන්තවාදී කණ්ඩායම් විසින් මීට සමාන රුදුරු අපරාධ සිදු කළ අවස්ථා සමග එකට ගෙන සැලකීමට නැමියාවක් ඇති බැවිනි.
ප්‍රචණ්ඩත්වය හා ආගම
ප‍්‍රචණ්ඩත්වය පිළිබඳව නැගෙන එවැනි දෝෂාරෝපණයන්ගෙන් තමන්ගේ ආගම ආරක්ෂා කර ගැනීම ඔවුන්ට පහසු කටයුත්තක් නොවීමට ඉඩ තිබේ. එවැනි තත්වයක් ඇති වීම වළක්වා ගත හැක්කේ, සැබෑ ඉස්ලාම් දහම කුමක්ද යන්න සෙසු ප‍්‍රජාවන්ට අවබෝධ කර දීමෙන් පමණක් නොව, තම ප‍්‍රජාව අතරේ සිටින අන්තවාදී කොටස් තමන් විසින්ම, නීති බලධාරීන්ගේ සහායද ඇතිව, දුරලීමට කටයුතු කිරීමෙනි.
මුස්ලිම් ආගමික නායකයන් සහ දේශපාලනික නායකයන් කණ්ඩායමක් ඉරිදා මැල්කම් රංජිත් කාදිනල්තුමා මුණගැසී, ප‍්‍රජාවන් දෙක අතර සමගිය නොකඩවා පවත්වා ගැනීම ගැන සාකච්ඡා කොට තිබේ. එසේ කිතුණුවන්ගේත්, විශේෂයෙන් කතෝලිකයන්ගේත් වේදනාව සහ දුක බෙදාහදා ගැනීමට මුස්ලිම් නායකයන් මේ මොහොතේ ඉදිරිපත් වීම ප‍්‍රශංසා කටයුතු වුවත්, ඒ සමගම, තමන්ගේ ප‍්‍රජාව අතරේ හිස ඔසවමින් ඇතැයි දැනට පැහැදිලිව පෙනෙන්ට ඇති ඒ අන්තවාදයට එරෙහිවත් ඔවුන් පෙරමුණ ගත යුතුව තිබේ.
බලධාරීන් කළේ මොනවද ?
මේ කියන සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ගේ නම් ගම් ද සහිත තොරතුරු සමග, මේ මරාගෙන මැරෙන ප‍්‍රහාර දියත් වීමට නියමිත බවට වන වාර්තා අපේ‍්‍රල් 11 වැනි දා වන විට බලධාරීන් අතට පත්ව තිබුණු බව දැන් සොයාගෙන තිබේ. ඒ බව, පොලිස් ප‍්‍රකාශකවරයාත්, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාත්, විශේෂයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහත්, සනාථ කොට තිබේ.
එසේ හෙයින්, ත‍්‍රස්තවාදීන් මේ ආකාරයෙන් තමන්ගේ ඝෝර ප‍්‍රහාරයන් සාර්ථක කරගෙන ඇත්තේ කෙසේද යන්න බලධාරීන් විසින් දැන් රටට පැහැදිලි කළ යුතුව තිබේ. ඒ සමගම, නායකයන් සමග එක්ව ජනතාවත්, සෑම ජන ප‍්‍රජාවක් තුළම තිබිය හැකි මේ අන්තවාදී තර්ජනය පරාජය කිරීමට, සියලූ ආගම්, වාර්ගික සහ දේශපාලනික වෙනස්කම් පසෙක ලා පියවර ගත යුතුව තිබේ.
(2019 අපේ‍්‍රල් 23 වැනි දා Daily Mirror පුවත්පතේ පළවූ ‘‘Eradicate Extremism in all Communities" නමැති ලිපියේ සිංහල පරිවර්තනය,‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි)
Post a Comment