‘‘දේශපාලන නායකත්වය සෘජු, ක්ෂණික තීන්දු තීරණ නොගැනීම බරපතලයි‘‘ - ජවිපෙ


මෙරට දේශපාලන නායකත්වය අවශ්‍ය අවස්ථාවේදී සෘජු, ක්ෂණික තීන්දු තීරණ නොගැනීම ඉතාම බරපතල තත්ත්වයක් බව අද (22) කොළඹදී පැවති ජවිපෙ මාධ්‍ය හමුවේදී විශේෂයෙන් ඉස්මතු වූ කරුණ විය. 


ජාතික ව්‍යසනයක් වූ මේ අවස්ථාව පටු දේශපාලන න්‍යාය පත්‍ර වෙනුවෙන් යොදා නොගන්නා ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් හැගීම්වලට වහල් වෙලා ක්ෂණීක ප්‍රතිචාර දක්වා තවත් මෙවැනි සිදුවීම් ඇති නොකරගන්නා ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලන බවද ජවිපෙ දේශපාලඥයින් මෙහිදී අවධාරණය කළ කරුණ විය. 

ඊයේ (21) දිනයේදී සිදුවුණේ ඉතාම ඛේදනීය සිදුවීමක්. එය සිදුවුණේ කිතුණු බැතිමතුන්ගේ විශේෂ ආගමික වතාවත් කරන දිනයක වීම ඛේදනීය තත්වයක්. මෙම ප‍්‍රහාරය ඉතාම නින්දිත, පහත්, ම්ලේච්ඡ, තිරිසන් ගණයේ ප‍්‍රහාරයක්. ජනතා විමුක්ති පෙරමුණ එම නින්දිත ප‍්‍රහාරය මුළුමනින්ම හෙළා දකිනවා. දැනට වාර්තා වෙලා තියෙන පරිදි ප‍්‍රහාරයෙන් 290කට අධික ප‍්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වෙලා තිබෙනවා. ඒ වාගේම පන්සියයකට ආසන්න ප‍්‍රමාණයක් තුවාල ලබා තිබෙනවා. ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල්වල ඥාතීන්ට අපේ පක්ෂයේ ශෝකය පළකරනවා. ඒ වගේම තුවාල ලබා ප‍්‍රතිකාර ලබමින් සිටින පුද්ගලයින්ට ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරන අතර ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ටත් අපගේ කණගාටුන ප‍්‍රකාශ කරනවා.

මේක සංවිධානාත්මක වැඩක් 

මේක ඉතාමත් බැරූරුම් තීරණාත්මක සිදුවීමක්. ඒ වගේම සංවිධානාත්මක පිරිසක් විසින් මෙහෙයවපු සිදුවීමක්. තනි පුද්ගලයෙකුට හෝ පුද්ගලයින් කිහිප දෙනෙකුට පමණක් තමන්ගේ තනි තීරණයකට අනුව මෙවැනි සංවිධානාත්මක පිපුරුම් කිහිපයක් එකවර සිදුකරන්න හැකියාවක් නැහැ. ඒ නිසා ඉතාම පැහැදිළියි මෙය සංවිධානාත්මක පිරිසක් විසින් මෙහෙයවපු ප‍්‍රහාරයක් කියලා. මේ සිදුවීම සම්බන්ධයෙන් රජයේ බුද්ධි අංශ වෙත තොරතුරු වාර්තා වුනා කියලා දැන් තහවුරු වෙලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වගකිව යුතු දේශපාලන අධිකාරිය අවශ්‍ය වෙලාවට අවශ්‍ය පියවර ගත්තේ නැහැ. අගමැතිවරයාගේ විශේෂ ප‍්‍රකාශයෙත් ඒ බව සඳහන් වුනා. දේශපාලන නායකත්වය එම අවස්ථාවේ සෘජු ක්ෂණික තීන්දු තීරණ නොගැනීම ඉතාම බරපතළ තත්වයක්. රජයේ වගකීම තමයි ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම. රජයේ නිලධාරීන් තොරතුරු වාර්තා කළාම ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම දේශපාලන අධිකාරිය සතු වගකීමක්. නමුත් එම වගකීම ඉටු නොවීම කණගාටුවට කාරණයක්. අපේ රටේ දේශපාලන නායකයින් බලඅරගලය වෙනුවෙන් කාලය ගත කරනවා විනා රටේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ආකාරයකින් තීන්දු තීරණ ගන්න අවධානය යොමු කරන්නේ නැහැ

කඩිනම් පරීක්ෂණයක් අවශ්‍යයි 

මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකිරීම අත්‍යාවශ්‍යයි. මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් සිදුකොට ඒ සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු ලබාදීම අත්‍යාවශ්‍යයි. මොකද මේ වෙලාවේ සියලුම ජනතාව හෙට දිනයේ තමන්ගේ ආරක්ෂාව මොකක්ද කියලා සැකයෙන් ඉන්නේ. තමන්ගේ ආරක්ෂාව ආණ්ඩුව විසින් සපයයිද කියන ප‍්‍රශ්නය ජනතාවට පැනනැගිලා තිබෙනවා. ඒ වගේම ජනතාව භීතියෙන් පසුවෙනවා. මේ වෙලාවේ එකිනෙකා වෙත වගකීම පටවලා නිදහස් වෙන්න ආණ්ඩුව කටයුතු නොකර ආණ්ඩුව ලෙස සමස්ත වගකීම බාරගෙන කඩිනම් පරීක්ෂණයක් පවත්වා ජනතාවට ඇත්ත තොරතුරු ලබාදෙන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා.

මෙවැනි සිදුවීම්වලදී විවිධ කණ්ඩායම් තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් මේවා යොදා ගන්නා අත්දැකීමක් අපේ රටේ තිබෙනවා. අපි ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිනවා සියලු දෙනාගෙන් මෙම සිදුවීම තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් යොදාගෙන දේශපාලන අරමුණු ඉටුකරගන්න පාවිච්චි කරන්න එපා කියලා. මේක ජාතික ව්‍යසනයක්. මේ සිදුවීමෙන් ජීවිත අහිමි වුණේ, තුවාල ලැබුවේ පටු දේශපාලන අරමුණු ඉටුකරගන්න අරගලයක සිටි ජනතාව නොවේ. ඒ නිසා විවිධ කණ්ඩායම් තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට යාමෙන් විපතට පත්වෙන්නේ නැවතත් සාමාන්‍ය ජනතාවයි. මෙවැනි ජාතික විපතක් සිදුවූ මොහොතක පක්ෂ පාට බේදයෙන් තොරව ජාති ආගම් බේදයෙන් තොරව සියලුම ජනතාව ඉදිරියේදී ඇතිවිය හැකි මෙවැනි විපත් වළක්වා ගන්න කටයුතු කරන්න ඕනෑ. අපි සියලුම ජනතාවගෙන් ඉල්ලනවා කළබල වෙලා තීන්දු තීරණ ගන්න එපා කියලා. හැගීම්වලට වහල් වෙලා ක්ෂණික තීරණ ගැනීමෙන් මෙවැනි විදුවීම් තවදුරටත් ඇතිවෙන්න පුළුවන්. එම නිසා හදිසි තීරණ ගන්න එපා. මෙවැනි සිදුවීම් නැවත ඇති වීමට කිසිදු අයුරකින් දායක වෙන්න එපා. මේ අවස්ථාව සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ අපි සියලු දෙනා එකතු විය යුතු මොහොතක්. එම නිසා මේ මොහොතේ සාමකාමීව කටයුතු කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලනවා.”