‘‘රජය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස් අයිතිය උල්ලංඝනය කරනවා‘‘ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය


නිර්මාණාත්මක ලේඛකයෙක් වන ශක්තික සත්කුමාර විසින් රචනා කරන ලදුව මුහුණු පොතෙහි  පළ කරන ලද කෙටි කථාවක්, බුද්ධ ධර්මයට කරන ලද අපහාසයක් ලෙස සලකමින් අප්‍රේල් 9 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තම අප්‍රසාදය පළකරමින් නිවේදනයක් නිකුත් කර ඇත. 

එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙන්නේ, 

‘‘නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත වාර්තා වී ඇති අන්දමට ශක්තික සත්කුමාර පොල්ගහවෙල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අප්‍රියෙල් 09 දින දක්වා රක්ෂිත බන්ධානාගාරගත කොට ඇත්තේ අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය යටතේය.

ශ්‍රී ලංකාව විසින් අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තියට අත්සන් කිරීමෙන් ජගත් ප්‍රජාවට මෙන්ම ශ්‍රී ලංකික මහජනතාවට පොරොන්දු වී ඇත්තේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වඩාත් සුරක්ෂිත කොට පෝෂණය කිරීමට මෙම ප්‍රඥාප්තිය මගින් ඉඩකඩ සලසා දෙන බවයි. නමුත් මෙම සිදුවීම් මගින් පැහැදිලි වන්නේ එම ප්‍රඥප්තිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට අභියෝගයක් එල්ල වන ආකාරයෙනි. 

යම් කලා කෘතියක අන්තර්ගතය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් තිබේ නම් ඒ පිළිබඳ විනිශ්චය කිරීම එක් දෘෂ්ටිකෝණයකින් පමණක් කළ නොහැකි සංකීර්ණ කටයුත්තකි. එහෙත් රජය මෙහිදී ක්‍රියාකර ඇත්තේ ඒ පිළිබඳ නොතකමින් බව පැහැදිලිව පෙනේ. 

කලා හා සාහිත්‍ය කෘතින් මෙන්ම නිදහස් මතධාරින්, ලේඛක, ලේඛිකාවන් සම්බන්ධයෙන් රජය නිසි අධ්‍යයනකින් තොරව තීරණ ගෙන ඇති බවත්, එමගින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස් අයිතිය උල්ලංඝනය කිරීම රජය විසින් නොකඩවාම සිදු කරන බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මීට පෙර අවස්ථා කිහිපයකදීම පෙන්වා දි ඇත. මෙම අත්තනෝමතික ක්‍රියාකලාපය නතර කරන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නැවතත් සියලු බලධාරීන් ගෙන් ඉල්ලා සිටියි.‘‘ යන්නයි. 





සබැඳි පුවත්