දේශමාන්‍ය සුසන්ත ලියනාරච්ච් ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති ධූරයට නිතරඟයෙන් පත්වේ


ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ (National Construction Association of Sri Lanka - NCASL) 2018/2019, වර්ෂයේ 35 වන වාර්ෂික මහ සභා රැස්වීම ලාංකීය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින්ගේ දායකත්වයෙන් පසුගිය පෙබරවාරි 9 වැනිදා තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාක් හෝටලයේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු මෙන්ම අත්දැකීම් වලින් පිරිපුන් සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන දේශබන්දු සුසන්ත ලියනාරච්චි මහතා එහි සභාපති ධූරයට නිතරඟයෙන් පත්විණි.  

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දියුණුව හා ඉදිකිරීම් කර්මාන්තයේ නිරත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ උන්නතිය වෙනුවෙන් ඇපකැපවී සිටින ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය වටා මේ වනවිට සාමාජිකයින් 3700 කට අධික පිරිසක් අත්වැල් බැඳගෙන සිටියි. 

මෙරට තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත වන චීන හා ඉන්දීය වැනි විදෙස් සමාගම් සමග කරට කර තරග කරන අතරතුර දේශීය ඉදිකිරීම් සමාගම් ද සවිබල ගන්වමින් කටයුතු කරන සුසන්ත ලියනාරච්චි මහතා ක්ෂේත්‍රයේ පුළුල් අත්දැකීම් වලින් පිරිපුන් ප්‍රවීණයෙකි. මෙතුමා ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ දකුණු පළාත් ශාඛාවට 1988 දී වසරේදී සම්බන්ධ වූ අතර සිය සාමාජිකත්වය අඛණ්ඩව පවත්වාගෙන යමින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් නොමඳ දායකත්වයක් ලබාදෙමින් සිටියි.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම හා නිසි පුහුණුවෙන් යුතු මතු පරපුරක් බිහිකිරීම වෙනුවෙන් නිර්මාණය කර ඇති NCASL හි පුහුණු හස්තය වන උසස් ඉදිකිරීම් පුහුණු විද්‍යා පීඨය (ACTA), ඉදිකිරීම් තාක්ෂණ විශ්වවිද්‍යාල විද්‍යායතනය (UCCT) ආදියේ සභාපතිධූරය ද ලියනාරච්චි මහතා හොබවමින් සිටියි. එමෙන්ම, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් රාජ්‍ය අංශයට උපදෙස් ලබාදීමේ කටයුත්තට ද මෙතුමා දායක වන අතර ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) හා රාජ්‍ය ඉදිකිරීම් ආරක්ෂණ අරමුදලේ (CGF) ක්‍රියාකාරී අධ්‍යක්ෂක ලෙස ද කටයුතු කරයි. 

‘‘ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම දේශීය වශයෙන් වර්ධනය කිරීමේ අරමුණින් යුතුව තරුණ, තරුණියන් සවිබල ගැන්වීම මගේ මූලික දැක්ම බවට පත්වී තිබෙනවා. විශේෂයෙන්ම, මේ දැනුම ලබාදෙන උසස් ඉදිකිරීම් පුහුණු විද්‍යා පීඨය හා ඉදිකිරීම් තාක්ෂණ විශ්වවිද්‍යාල විද්‍යායතනය හරහා ජාත්‍යන්තරය තුළ තරඟ කරන්නට හැකි විශේෂඥයින් බිහිකිරීමට සැලසුම් කර තිබෙනවා.’’ යනුවෙන් සිය ඉදිරි දැක්ම ගැන අදහස් දැක්වූ ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති, සුසන්ත ලියනාරච්චි මහතා පැවසුවේය. 

එතුමා වැඩිදුරටත් අවධාරණය කළේ, ‘‘අද වෙද්දි චීන සමාගම් විශාල ප්‍රමාණයක් දේශීය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ආධිපත්‍යය පතුරුවාගෙන ඉන්නවා. ඔවුන් අඩු මිලට ලංසු තැබීමෙන් දේශීය ඉදිකිරීම් සමාගම් වලට දැවැන්ත තරඟයකට මුහුණදෙන්න සිදුවෙනවා. බොහෝ අවස්ථාවලදී කොළඹ කලාපය තුළ චීන සමාගම් ගෙන් ගෙට ගොස් තමන්ගේ ප්‍රවර්ධන කටයුතු කරන්න පෙළඹීම අද දැවැන්ත අර්බුදයක් බවට පත්වෙලා. විදෙස් කම්කරුවන් මෙරටට ගෙන්වීම ඉලක්ක කරගනිමින් ගිවිසුම් වලට පවා එළඹෙනවා. මේවායින් අපහසුතාවට පත්වෙන දේශීය ව්‍යාපාරිකයින් වෙනුවෙන් සුවිශාල මැදිහත්වීමක් කරන්න උත්සහ ගන්නවා.

විශේෂයෙන්ම, මේ කටයුතු වලට රාජ්‍ය අංශයෙන් ලැබෙන දායකත්වයත් අගය කළයුතුයි. දයා ගමගේ ඇමතිතුමාගේ මැදිහත්වීමෙන් 2018 දෙසැම්බර් 31 ට පෙර දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම් සමාගම් වලට හිමිවීමට තිබූ නොගෙවූ මුදල් බිලියන 3.9 ක් ලබාගන්න හැකිවුණා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස ද මේ කටයුතු වලට විශාල සහයෝගයක් ලබාදෙනවා’’ යන්නයි.

සුසන්ත ලියනාරච්චි මහතා සිය අභිනව ධූරයේ නිළ රාජකාරි කටයුතු ආරම්භ කිරීම පසුගිය 21 වැනිදා පන්නිපිටියේ පිහිටි ‘‘ඉදිකිරීම් මැදුර’’ දී සිදුකළ අතර මේ අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.