දැන දැන ජන ජීවිත අනතුරේ දැමූ ජනතාවාදී පාලකයෝ ?


මේ සටහන තබන්නට මොහොතකට පෙර නැවත වතාවක් කොච්චිකඩේ පල්ලිය ආසන්නයේ බෝම්බයක් පුපුරා ගිය බව වාර්තා විය. දින දෙකක පමණ කාලයක් පල්ලිය අසළ නවතා තිබූ වෑන් රථයක් පරීක්ෂා කරන්නට යාමේදී මේ පිපිරීම සිදුව තිබේ. 

ඊයේ දින පුරා පැවති කැළඹිලි සහගත තත්ත්වය තවමත් අවසන්ව නැති අතර උණුසුම මැකී යන්නටත් පෙර ආරක්ෂක අංශ වල සෝදිසි කිරීම් හමුවේ පුපුරණ ද්‍රව්‍ය, සැකකටයුතු පුද්ගලයින් මෙන්ම පූර්වයෙන් සැලසුම් කළ ප්‍රහාරයට අවශ්‍ය මෙවලම් ද හසුවෙමින් පවතියි. 

සවස 6 පසුවී ඇති මේ මොහොතේදී රටපුරා පොලිස් ඇඳිරි නීතිය ආරම්භ වී ඇති අතර හෙට (23) දින උදෑසන 4 ට එය අවසන් වනු ඇත. මෙරට පමණක් නොව විදෙස්ගත ලාංකිකයින් මෙන්ම ලංකාවට ඇළුම් කරන පිරිස් ද ඊයේ දින රාත්‍රිය නොනිදා ගතකරන්නට ඇත, අද දවස තවදුරටත් පිපිරුම් හඬ නොඇසෙන ඝාතනයට ලක්වූවන් ගැන මාධ්‍ය මගින් පුන පුනා ප්‍රචාරය නොවන දවසක් වනු ඇති බව ඔවුන් බොහෝදෙනෙකු පතන්නට ඇත.

ප්‍රවාහන සේවාවන් මෙන්ම කාර්යාලීය කටයුතු ද යථා තත්ත්වයට පත්කර ඇති බව රජය අද උදෑසනින්ම නිවේදනය කළ ද කොළඹ කේන්ද්‍ර කරගත් බොහෝ දෙනෙකු සිය රාජකාරි කටයුතු වලට පවා නොගියේ ජීවිතය අහිමිවේ යැයි යන බියෙනි. 

මහජනතාව සලිත කරන පුවත් විසුරුවා හරින බවට චෝදනා ලබන සමාජ මාධ්‍ය ජාල වලට පිවිසීම ඊයේ දහවලේ සිට අවහිර කරනු ලැබ ඇති පසුබිමක ප්‍රධාන ධාරාවේ මාධ්‍ය අඛණ්ඩ වාර්තාකරණයේ නියැලෙමින් ජනතාව තව තවත් කුපිත නොකරන්නේද ? යන ප්‍රශ්නය නගන්නට සිදුවේ. 

විශේෂයෙන්ම, මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික මාධ්‍ය සමාජ වගකීම පසෙක දමමින් හඬන, වැලපෙන, අසීරුවෙන් ජීවිතය ගලවාගෙන පල්ලියෙන් ඉවතට ඇදෙන දුංඛිත ජනතාවගෙන් පවා පල්ලිය තුළ සිදුවූවේ කුමක්දැයි අසන තත්ත්වයට, අසීරුවෙන් ජීවිතය ගලවාගෙන රෝහල් සයනය මත වැතිරී සිටින විදේශිකයින් වෙත මයික්‍රෆෝනය හා කැමරාව දිගු කරමින් විමසන්නේ සිදුවුණේ කුමක්ද ? යන්නයි. 

සිද්ධිය යොදාගනිමින් සිය පටු දේශපාලන අරමුණු ඉටුකරගැනීමට වෙර දරන මහින්ද පිල පවසන්නේ ඔවුන්ගේ කාලයේ මෙවැනි කෘර ක්‍රියා සිදුනොවූ බවත් ජාතික ආරක්ෂාව අනතුරේ බවත්ය. අනෙක් පැත්තෙන් ඊට පිළිතුරු බඳින ඇමති රාජිත අද උදෑසන අරලියගහ මන්දිරියේදී පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේ, මහින්ද රාජපක්ෂගේ කාලයේ ආරක්ෂක ප්‍රතිපත්තීන් ගැන තමා මනාව දන්නා බවයි. 

මේ සියල්ල අතරතුරදී අද වනවිට මෙරට දේශපාලඥයින්ගේ නිරුවත ද හෙළිදරව් වෙන්නට පටන්ගෙන ඇත. 
ඊයේ දින මාධ්‍ය ඇමතූ මෙරට අගමැතිවරයා පවසන්නේ මේ ප්‍රහාරය ගැන ආරක්ෂක අංශ කලින් දැනුවත්ව සිටි බවත් ඒ ගැන දැඩි අවධානයක් යොමු නොකළ බවත්ය. ඒ අදහස අද දිනයේදී සනාථ කළ ොරාජිත සේනාරත්න පවසන්නේ, ‘‘මේ ප්‍රහාරය පිළිබද ජාත්‍යන්තර බුද්ධි අංශ විසින් දැනුම්දී තිබුණේ පසුගිය අප්‍රේල් 4 වැනිදායි. ඉන් පසුව රාජ්‍ය බුද්ධි අංශය විසින් මේ ගැන වාර්තාවක් අප්‍රේල් 9 වැනිදා පොලිස්පතිවරයාට ලබාදී තිබෙනවා.‘‘. 

මේ කතාබහ මැද ඔහු එජාපය ගලවාගැනීමට තවදුරටත් අවධාරණය කරන්නේ,

‘‘ඔක්තෝබර් 26 වැනිදා සිට අගමැතිවරයාට ආරක්ෂක මණ්ඩලයට කැඳවා නැහැ. ඔක්තෝබර් 26 න් පස්සේ හොර අගමැතිවරයා ආරක්ෂක මණ්ඩලයට කැදවා තිබුණත් අපි ආණ්ඩුව නැවත හැදුවට පස්සේ අගමැතිවරයාට ආරක්ෂක මණ්ඩලයට එන්න කිව්වේ නෑ. අගමැතිවරයාට ආරක්ෂක මණ්ඩලයේ සිදුවන දේ ගැන කිසිදු අවභෝදයක් ඒ නිසා ලබාගැනීමට නොහැකිවුනා. ඒ විතරක් නෙමෙයි ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයාට කැදවීමක් ලැබෙන්නේත් නෑ.‘‘ යන්නයි. 

ප්‍රහාරය ගැන තමන්ට ලැබුණු පූර්ව දැනුවත් කිරීම් ගැන මනෝ ගනේෂන් මෙන්ම හරින් ප්‍රනාන්දු ද ඊයේ සමාජ ජාල හරහා හෙළිදරව් කළහ. එමෙන්ම, ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨයා වන රටේ ජනපති විදෙස් ගතවන්නේ ඔහු වෙනුවට වැඩ බැලීමට කිසිවෙකුත් පත්නොකරය. ඔහු තිරුපති ගොස් දෙවියන්ගෙන් ආරක්ෂාව පතන්නේ මෙරට අහිංසක ජනතාව අමු අමුවේ බිල්ලට දෙමිනි. 

කොටස් වෙළඳපොල අද දිනයේ ක්‍රියාකාරී නොවුණි, මෙරටට පැමිණි විදේශිකයින් මර බියෙන් නැවත සිය රටවල් කරා ඇදී යනවිට රාජිත සේනාරත්න අද හෙළිදරව් කළේ  ‘තව්හීද් ජමාත්’ මේ ප්‍රහාරය සිදුකළ බවයි.
මේ සියල්ලෙන් පසුව සනාථ වන්නේ මෙරට දේශපාලඥයින් ලාංකීය ජනතාවගේ ජීවිත දැඩි අවදානමක තබා නිහඬව සිටි බවයි. හෙට දිනයේ නැවතත් කොතැනක බෝම්බයක් පුපුරා යයිද ?. සුරක්ෂිතව මහමඟ යා හැකි වාතාවරණයක් අද රටේ පවතිනවාද ?.  ඉතිං, මෙරට අහිංසක ජනතාව වෙනුවෙන් වගකියන්නේ කවුද ?.