ජුලියන් ඇසන්ජේ ලන්ඩනයේදී අත්අඩංගුවට ගැනේ


විකිලීක්ස් හි සම නිර්මාතෘ ජුලියන් ඇසන්ජේ අද (11) දිනයේදී බ්‍රිතාන්‍ය පොලීසිය විසින් ලන්ඩනයේ පිහිටි ඉක්වදෝර තානාපති කාර්යාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 

වසර හතක් පුරා ඉක්වදෝරයේ දේශපාලන රැකවරණ පතමින් සිටි ජුලියන් ගැන අදහස් දක්වමින් ඉක්වදෝර ජනපති ලෙනින් මොරේනෝ පවසන්නේ ඔහු ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇති බවයි. 

‘‘ජුලියන් ඇසෙන්ජේ ඉක්වදෝර තානාපති කාර්යාලයෙන් පිටතට නොගිය බවත්, ඉක්වදෝර තානාපතිගේ ආරාධනය මත තානාපති කාර්යාලය තුළට පැමිණි බ්‍රිතාන්‍ය පොලිස් නිළධාරීන් ඔහුව අත්ඩංගුවට ගෙන ඇති බවත්‘‘ විකිලීක්ස් සඳහන් කරයි. 

කෙසේවුවත්, මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරන විකිලීක්ස් වෙබ් අඩවිය පවසන්නේ ජාත්‍යන්තර නීති උල්ලංඝන කරමින් ජුලියන්ගේ දේශපාලන රැකවරණය හමාර කිරීමට ඉක්වදෝර රජය විසින් අඥාන අන්දමින් කටයුතු කර ඇත. 

එක්සත් ජනපද රහස් තොරතුරු හෙළි කිරීමේ චෝදනාව මත එක්සත් ජනපදයට ගෙන ගොස් නඩු පැවරීමේ අවදානමට ලක්ව සිටින ජුලියන් ඇසන්ජේ ලන්ඩන් නුවර ඉක්වදෝර් තානාපති කාර්යාලයට ඇතුළු වී දේශපාලන රැකවරණය පැතුවේය. ඉක්වදෝර් රජයෙන් ඔහුට දේශපාලන රැකවරණය හිමි වුවද ඔහුට ඉක්වදෝරයට යෑමට බි‍්‍රතාන්‍ය රජය ඉඩ දුන්නේ නැත. තානාපති වරප‍්‍රසාද යටතේ හිමිවන ආරක්ෂාව එම ගොඩනැගිල්ලේ සිටින තෙක් පමණක් වන බව පවසන බි‍්‍රතාන්‍ය රජය ඔහු එම ගොඩනැගිල්ලෙන් පිටවුවහොත් අත්අඩංගුවට ගන්නා බව පවසයි.