විමර්ශන කටයුතු වලට බ්‍රිතාන්‍යයේ හා පාකිස්ථානයේ සහය


තමන් වරෙක මුහුණදුන් අවාසනාවන්ත අත්දැකීමට සමාන අවස්ථාවකට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව ඇති බවත්, ත්‍රස්තවාදී ක්‍රියා මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සිය සහයෝගය ලබාදීමට සූදානම් බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ පසුගියදා (23) රාත්‍රියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දුරකථනය ඔස්සේ අමතමින් ප්‍රකාශ කළාය. 

විපතට පත් ශ්‍රී ලාංකිකයින් වෙත ශෝකය පළ කිරීම සම්බන්ධයෙන් තෙරේසා මේ වෙත අග්‍රාමාත්‍යවරයා සිය ස්තූතිය පළ කර සිටියේය. මෙම ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් වූ විමර්ශනවලට සහාය පළ කිරීම සඳහා බ්‍රිතාන්‍ය නියෝජිත කණ්ඩායමක් නොබෝ දිනකින් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බව ද ඇය සඳහන් කළාය. 

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඊයේ (24) උදෑසන අගමැතිවරයාට දුරකථනයෙන් අමතා පසුගිය දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කළේය. ත්‍රස්තවාදය හේතුවෙන් පාකිස්ථානු වැසියන් 70,000 ක් පමණ ජීවිතක්‍ෂයට පත්ව ඇති බව සඳහන් කළ ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයා ත්‍රස්ත ක්‍රියා මැඩලීම වෙනුවෙන් සිය සහාය ශ්‍රී ලංකාවට ලබාදීමට සූදානම් බව ද ප්‍රකාශ කර සිටියේය. 



අත්‍යවශ්‍ය මොහොතක මෙසේ උපකාර කිරීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පළ කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දෙරටේ දිගු කාලීන මිත්‍රත්වය ආරක්‍ෂා කරලීම උදෙසා දිගින් දිගටම කටයුතු කිරීම පිළිබඳව පකිස්ථානු අගමැතිවරයාට සිය ප්‍රශංසාව පළ කළේය.