''ජාත්‍යන්තර සහය ලබාගෙන ත්‍රස්තවාදය නැති කරනවා‘‘ - අගමැති


ජාත්‍යන්තර සහයෝගය ලබාගෙන ත්‍රස්තවාදය නැති කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසී ය.

''අද අපි ගෝලීය ත්‍රස්තවාදයේ කොටසක් ලෙස ඇතුල් වෙලා. අද ගෝලීය ත්‍රස්තවාදී ඉන්ඩෙක්ස් අනුව ජාතිවාදය පදනම් කරගත් ත්‍රස්තවාදයට වඩා ආගම පදනම් කරගත් ත්‍රස්තවාදය ඉදිරියට ඇවිත් තියෙනවා. 

දීගුකාලීන ත්‍රස්තවාදයක් ලෙස මෙය කියන්න පුළුවන්. අතළොස්සක් සහභාගී වුවත් මෙය දිගු කාලීන සැලසුම් ඇතිව ඇති කර තිබෙන්නේ. මෙවැනි ප්‍රහාර කීපයක් සකස් කර තිබෙනවා. එයින් කීපයක් නවත්වාගෙන තියෙන්නේ. මෙය සැලසුම් කරන පුද්ගලයන් ඉන්නවා. දිවි නසාගන්නා අය පාලනය කරන අය ඉන්නවා. පොලිසිය  ආරක්ෂක අංශ බුද්ධි අංශය මෙවැනි අය අත්අඩංගුවට ගන්නවා. හදිසි නීතිය හදුන්වා දුන්නා. අත්අඩංගුවට ගැනීමේ බලතල හමුදාවට ලබාදුන්නා. වැදගත් කරුණු කීපයක් ලබා ගෙන තිබෙනවා. නොමඟ ගියේ ස්වල්පයක්  පමණයි.  මුස්ලිම් ජනතාව මීට විරුද්ධයි. මෙයට විරුද්ධ සියලු දෙනා විරුද්ධ විය යුතුයි.

මෙතැන අරමුණක් වී තිබෙන්නේ ආර්ථිකයට පහර දීමටයි. දැන් සංචාරක ස්ථාන ආරක්ෂා කරන්න ආර්ථිකය  ශක්තිමත් කරන්න වෙනම පියවර අරගෙන යනවා. තව අවුරුදු 30 යුද්ධයකට යන්න ඉඩ දෙන්නේ නෑ. මෙය 
අවසන් කිරීමට පියවර ගන්නවා. 

එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමා සහාය දෙන්න කියලා පොරොන්දු වී තිබෙනවා. දුරකතනයෙන් හා ලිපි මඟින්  ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමා ඇතුළු රාජ්‍ය නායකයින් සමඟ සාකච්ඡා කළා. ඔවුන් සියලු දෙනා ශ්‍රී ලංකාවට උදව් කිරීමට කැමැත්ත ප්‍රකාශ කළා. 

ජාත්‍යන්තර සහයෝගය ලබාගෙන ත්‍රස්තවාදය නැති කිරීමට පියවර ගන්නවා. ජාත්‍යන්තර සහයෝගයෙන්  සම්පූර්ණ ප්‍රයෝජනය ගත යුතුයි. මහජන සහයෝගය ලබාගෙන කටයුතු කළ යුතුයි. අභියෝගයට මුහුණ දීලා  කටයුතු කරමු'' යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.