නොදැනුමේ දේශපාලනය

 ෆැන්ටසිය රැක ගැනීම වෙනුවෙන් අප ගෙවන වන්දිය වනුයේ භීතිය ය. වෙනත් විදියකින් කිවහොත් අප ආශා කරන්නේ භීතිය නිෂ්පාදනය කල හැකි අයෙකුට ය. 


මහේෂ් හපුගොඩ 

හැමදාම සිදුවන පරිදි ම දේශපාලකයින් ජීවිතය බේරා ගෙන ඇත. සාමාන්‍ය මිනිසුන් මරණය වැළඳ ගෙන ඇත.

මරණය වැළඳ ගත් සාමාන්‍ය මිනිසුන් විසින් ජීවිතය බේරා ගෙන මාධ්‍ය වලට අලංකාර  ප්‍රකාශ නිකුත් කරන දේශපාලුවන් නැවත වරක් පාර්ලිමේන්තු යවනු ඇත. ඒ දේශපාලුවන් නැවතත් ඒ මිනිසුන්ට මරණය ම උරුම කර දෙනු ඇත. 

මිනිසුන් වේදනාවට ආශා කරන අතර දේශපාලුවන් මිනිසුන්ට වේදනාව ගෙන දීමෙන් තෘප්තියක් ලබයි. 

යටත් විජිත යුගයේ සිට අප පුරුදු වී ඇති මේ පර පීඩා ස්ව පීඩා විෂම චක්‍රය බිඳ දැමීමට වයිමා ට වත් බැරි වනු ඇත. යන්තම් හමුදාව එළියට බැස ඇති හෙයින් ඇවිදින මළමිනී බඳු මිනිසුන්ට යන්තම් හුස්ම ගැනීමට හැකිව ඇත. නැත්නම් ඇත්තේ මියගිය රටකි. ගෝලීය ත්‍රස්තවාදයක සෘජු ගොදුරක් වී ඇති ශ්‍රී ලංකාව තවදුරටත් පැරණි ලංකාව නොවේ. අප මෙතෙක් සිතූ සියල්ල තව දුරටත් මේ රට තේරුම් ගැනීම පිණිස අදාල නොවේ. රටේ ගමන් මඟ තීරණාත්මක ලෙස වෙනස් වී ඇත. මෙය නව ආපතික තත්වයකි. අප වැනි රටවල සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගැනීම සඳහා හමුදාව අවශ්‍ය වීම ගැන 'නිදහස' සම්බන්දව ලොරි ටෝක් දෙන මංගල සමරවීර දැන් කියන්නේ කුමක්ද? පිටරට සිටින චන්ඩි මාක්ස්වාදීන් 'නිදහස' ගැන දැන් දරන මතය කුමක්ද? පශ්චාත් යටත් විජිත සර්වජන චන්දයේ නපුංසක බව වෙනුවට අප විනයගත හමුදාවක් පිළිබද තර්කය නව සමාජ යුතෝපියාවක් කරගත යුතුද? (ජෙම්සන්, An American Utopia: Dual Power and the Universal Army. Verso. 2016). 

අනෙක් අතට මිය යාම තම එකම දෛවය කරගත් මිනිසුන්ගේ ආවේගය ප්‍රකාශ කිරීමට ඇති එකම දේශපාලන මාධ්‍ය වන මුහුණු පොත වාරණය කර ඇත. වැඩකට නැති ජනමාධ්‍ය මිණී කඳු උඩින් ලාභ උපයමින් ඇත. බුද්ධි අංශ වාර්තා ළිපි හුවමාරු වූ අන්දම ගැන සෞන්දර්යාත්මක ප්‍රබන්ධයක් ජනාධිපති වරයා විසින් කරමින් ඇත. 

බුද්ධි අංශ වාර්තා සහ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත අතර එකට එකේ සම්බන්දයක් මේ යුගයේ නැත. සම්බන්ධයක් ඇත්නම් ඇත්තේ ඒ දේශපාලකයින් සිය ජීවිතය බේරා ගන්නට උත්සාහ කරන වැඩ පිළිවෙල තුළ සාමාන්‍ය මිනිසුන් යම් විදියකින් ස්ථානගතව සිටියහොත් පමණි. 

පහත් තැනින් ජලය ගලා බසිනවා මෙන් අවශ්‍ය නම් පරිපාලන නිලධාරීන් කිහිප දෙනෙක් ගේ තනතුරු එහා මෙහා කර දේශපාලකයින් තම ඇඟ බේරා ගන්නවා සිකුරුය. තව බෝම්බ කිහිපයක් නො පිපුරුණ හොත් නිසැක වශයෙන් අනිද්දා සිට නැවතත් දෙපැත්තට ගහන පරණ බල සෙල්ලම පටන් ගන්නවා ඇත.     
  
ඒ කෙසේ වුවත් අවසානයේ අප සියල්ලන්ගේ ම 'විනෝදය' අභියෝගයට ලක් කිරීමට එම මරාගෙන මැරෙන බෝම්බ කරුවන් සමත් විය. සදාකාලික නින්දෙන් අප ඇහැරුනි (eternal sleep). 2009 න් පසු රනිල් මෛත්‍රී පමණක් නොව අප සැවොම සිටියේ විනෝදයෙනි (මෙසේ කියන්නේ මම නොව නමගිය හමුදා නිලධාරියෙක් වූ සරත් ෆොන්සේකා ය. පාර්ලිමේතුවේ සිටි අය අතරින් යම්කිසි බරක් ඇති දෙයක් පැවසුවානම් පැවසුවේ ද ඔහු පමණය). එසේ නොවේ යැයි සිතන්නේ නම් පසුගිය කාලය තුල අප ලිවූ කිවූ දේවල් දෙස නැවත බලන්න. අනික් අය කෙසේ වෙතත් මම මගෙන් පටන් ගනිමි. මහේ බ්ලොග් අඩවියෙන් පටන් ගත්තොත් එහි ඇත්තේ කුමක් ද? අසන්ධිමිත්තා, මුරකමි, රනිල්, මෛත්‍රී, හඳගම, හිරුණිකා, ෆැන්ටසි, යථාර්තය යන වචන අපේ (මගේ) ශබ්ද කෝෂයේ පිරී පැවතුණි. ඒවා මගේ ෆැන්ටසියේ සිමා ව විය. සැවොම ගොනු වූවේ ඒ වටාය. 

අප අසන්ධිමිත්තා හෝ අප්පච්චි ඇවිත් ගැන ඇත්තටම දේශපාලනික වුවේ නම් මේ ප්‍රහාරයෙන් පසුව ද අප අසන්ධි හෝ අප්පච්චි ගැන කතා නොකරන්නේ ඇයි? ඒ කතිකාව ඔස්සේ ම අප මෙම තත්වයද විග්‍රහ නොකරන්නේ ඇයි? එසේ අප කලින් කලට මතු වන ප්‍රපංචයන් ඔස්සේ මාතෘකා මාරු කරන්නේ 'එන එන හැටියට ගහ උළුවස්සා' පන්නයේ ජනප්‍රිය වාදීන් වන නිසාද? 

මේ සටහන ලියන්නේ ඉහත ප්‍රශ්නය ඉක්මනින් පැහැදිළි කර දී (අර්ථකතනය කර දී) මතවාදී අධිපත්‍යය මා වෙත නතු කර ගැනීමට නොවේ.  ඒ වෙනුවට අප ජිවත් වන ලෝකයේ පවතින අපගේම සංකල්ප සීමාව අවබෝධ කර ගැනීමටය. 

මේ දක්වා අපේ දෘෂ්ටිවාදී ප්‍රශ්නය වුවේ කුමක් ද? දේශපාලනය යනු ෆැන්ටසියක් ද යථාර්තයක් ද? අසන්ධිමිත්තා ෆැන්ටසියක් ද යථාර්තයක් ද? අපි කෙස් පැළෙන ලෙස තර්ක කළෙමු. අප වඩා ආවේ ගියේ සිංගප්පුරුවට ය. අපේ ෆැන්ටසි සිහින දේශය එය විය. චින ප්‍රාග්ධනය ඔස්සේ මස්තක ප්‍රාප්ත වන පෝට් සිටිය (Port City) ඔස්සේ අප සිහින දුටුවේ තවත් සිංගප්පුරු දේශයක් සැදීමට ය.  

මේ යක්ෂයාගේ ආගමනයට පෙර දින පවා අපේ අනාගත ජනාධිපති අපේක්ෂකයෙක් යනුවෙන් අප සිතාගෙන සිටින 'සාර්ථක වූ මිනිසෙක්' වන ෆැන්ටසි ධම්මික පෙරේරා මහතා ද සිංගප්පුරුවේ චැන්ගි ගුවන් තොටුපළේ රස්තියාදු ගසමින් සිටියේය (මුලින් කට්ට කාපු සාර්ථක මිනිසෙක් වන ඔහු කියන්නේ දැන් ඔහුට කිරීමට දෙයක් නොමැති බවයි. ඇත්තටම දැන් ඔහුට කරන්නට දෙයක් නැත). අන්තිමට බලන විට ජනාධිපති තුමා පවා 'නිවාඩුව' ගත කර ඇත්තේ සිංගප්පූරු සාප්පු සිහින ලන්තයේය. 

නමුත් සිංගප්පූරු සාමාන්‍ය වැසියන් කියන්නේ පැය විසි හතරම ආරක්‍ෂිත කැමරා තමා දෙස බලා සිටින මෙය සිහින ලන්තයක් නොව අපායක් යන්න ය. අහස සිඹින සාප්පු ලන්තය ඔවුන් යක්ෂයා ගෙන් 'ආරක්ෂා' කරන්නේ එසේය. තද පාලනයක් සහිත 'ආසියාතික ධනවාදය' එහි පවතී (Asiatic Capitalism). සල්ලිවලට කරන්නට දෙයක් දැන් ඔවුන්ට නැත. නිකම් සිටින ධම්මික පෙරේරා මෙහිදී නිවැරදි ය. 
        
ඉතිං අප සිතන්නේ මේ අර්බුද සමනය කිරීම සඳහා සහ අපගේ නුතන ෆැන්ටසිය රැක ගැනීම සඳහා 'තද පාලකයෙක්' (strict ruler) පත්කර ගැනීමට ය. මේ රට සිංගප්පූරුවක් කල හැක්කේ එවන් තද පාලකයෙක් පත්කර ගැනීමෙන් යන්න අපගේ සිහිනයයි (මෙයට කලින් තැබූ මුහුණු පොත් සටහනේ මම මතුකලේ මෙම විරුද්ධා භාෂයයි). 

නමුත් අප පැටලී ඉන්නේ ෆැන්ටසි වංකගිරියක බැවින් එය කිසිවෙක් තේරුම් ගන්නේ නැත. ෆැන්ටසිය රැක ගැනීම වෙනුවෙන් අප ගෙවන වන්දිය වනුයේ භීතිය ය. වෙනත් විදියකින් කිවහොත් අප ආශා කරන්නේ භීතිය නිෂ්පාදනය කල හැකි අයෙකුට ය. පනහ සහ හැටේ දශක නිෂ්පාදනය කලේ වසඟය (production of seduction) නම් සැප්තැම්බර් නව වෙනිදායින් පසුව අප නිෂ්පාදනය කරන්නේ භීතිය යි (production of terror). අප ඊයේ පෙරේදා අත්දකිනු ලැබුවේ එයයි. මේ සඳහා ඇෆ්ගන් මුස්ලිම් වරුන්ට අත්පොත් තැබුවේ අන් කවරෙක් වත් නොව ඇමෙරිකාවයි. දැන් තමන් බේරෙන්නට තාප්ප බඳින්නට හදන්නේ ද ඒ ඇමෙරිකාව ම ය.  

ඇත්ත ගෝලීය තත්වය කුමක් වුවත් දේශීය වශයෙන් සැවොම මේ ෆැන්ටසි ප්‍රශ්නය වටා එක් රොක් විය. ෆැන්ටසිය... ෆැන්ටසිය...අපි ඉන්නේ ෆැන්ටසිය පැත්තේ. සියල්ලෝ පිළිතුරු දුණි. අපට තිබුණේ පෝට් සිටි ෆැන්ටසියයි. නමුත් පෝට් සිටියට මීටර් පන්සියයක් දුරින් ෆැන්ටසිය තුලින් ම රාක්ෂයා ඉස්මතු විය. බෝම්බ පිට බෝම්බ පුපුරා ගියේය. තඩි බැක් පැක් කරේ දමාගෙන එන මරුවා පරික්ෂා කරන්නට කිසිවෙක් සිතුවේ නැත. අප සිටියේ පෝට් සිටි ප්‍රමෝදය ඉස්පොල්ලේ ගොස්ය. 

එසේ නම් ඔවුන් පැවතී ඇත්තේ මගේ ෆැන්ටසි සීමාවට ඔබ්බෙනි. මට එවැන්නක් ගැන සිතීමට පවා හැකි වුවේ නැත. නමුත් ෆැන්ටසිය ඔස්සේ රාක්ෂයා පැමිණෙන බව පමණක් මා සියවරක් සටහන් කර ඇත. මගෙන් අවසානයට ප්‍රශ්නයක් ඇසුවේ ගරිල්ලා භටයා විය. ඔහුගේ ප්‍රශ්නය පවා ව්‍යුහගත වුවේ 'කුමන්ත්‍රණයක්' වටාය. මා හැනිබල් ලෙක්ටර් හරහා මතුකළ 'භීතියේ ආගමනය' ගැන නොවේය.මා මේ කියන්නේ මා ද ඇතුළුව අප සැමගේ ම සංකල්පීය සීමාව ගැනය. යථාව ගැන ඇති අනවබෝධය ගැනය. 'නොදැනුමේ දේශපාලනය' ගැනය (කලින් ෆේස් බුක් සටහන නැවත කියවන්න).  

කුමන්ත්‍රණය කෙසේ වෙතත් අවසානයේ වැල්ලම් පිටියේ 'සාතන් ගේ මවගේ ගර්භාෂයෙන්' යක්ෂයා ගේ පැටවුන් පැමිණියේ ය (Satan's mother). වැල්ලම් පිටියට සුළු දුරකින් මෙහා සිටි කුරුඳුවත්තේ රනිල් පැමිණියේ නැත.  

නුතන අධ්‍යාපනය තුලින් ම සමාජ හිනිමගේ ඉහලට ම නැග ලන්ඩන් ගොස් අධ්‍යාපනය ලබා සහතික දරා ව්‍යාපාර කර සාර්ථක වී ඇති 'සාර්ථක මිනිසුන්' පිරිසක් විසින් අපගේ නුතන සිහිනයට බෝම්බ හෙලා ඇත. ඔවුන් හඩු ඇඳුම් ඇඳි 71 අරගලකරුවන් නොවේය. 

සරත් ෆොන්සේකා ට අනුව ඔවුන් කෙටි කලකින් විශාල දුරක් ගමන් කර ඇත. එම වේගය LTTE සංවිධනය පවා ඉක්මවා යන බව ඔහුගේ මතයයි. ලෝකය පුරා මුස්ලිම් තරුණ තරුණියන් මේ කළු කුහරය වෙතට වේගයෙන් අවශෝෂණය කර ගනිමින් ඇත. කන් වල ගසාගත් ඇබ වලින් ඇපල් අයි ෆෝන් ඔස්සේ ඔවුන් අසන්නේ ඩේවිඩ් බෝවී හෝ බොන් ජෝවි නොවන බව දැන් අපට පැහැදිළි විය යුතුය. ඔවුන් සොයන්නේ තම හිස් නූතන ජිවිතයට අර්ථයකි. අප දේශනා කරන හිස් බව තුළ ඔවුන්ට සිටිය නොහැක.  

සැප්තැම්බර් නවය බෝම්බය ඔවුන් හෙළුවේ තට්ටු පිට තට්ටු නැඟී අහස සිඹින 'නුතන සිහිනය' වෙතය (ෆැන්ටසිය). අද ඔවුන් කළේද ඒ දේම ය. ඔවුන් මෝඩයන් නොවීය. හොඳින් බටහිර අධ්‍යාපනය ලද අය විය. අපටත් වඩා බටහිර අවකාශයේ ජීවත් වුවන් විය (modern spatiality). නුතන අධ්‍යාපනයට ඔවුන් වෙනස් කළ නොහැකි විය. ඔවුන් තමා උගත් නුතන දෙය සමග දුරස්ථ සම්බන්දයක් ඇත්තවුන් විය (cynical distance). නුතන දැනුමට නොව ඔවුන් 'නො-දැනුමට' ආශා කරන ලදී. නුතන දැනුම සහ තාක්ෂණය පවා ඔවුන් භාවිතා කළේ නොදැනුම පිණිස ගමන් කරනු සඳහාය. නූතන හිස් බව ඔවුන් වසා ගත්තේ නූතනත්වයට එරෙහිව කැරළි ගැසීමෙනි. එම හිස් බව ඔවුන්ට පුරවා දුන්නේ ආගම විසින් වේ. ඔවුන් උගෙන ඇත්තේ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙනි. මුලධර්මවාදය උගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවෙනි. එම ආගමික අධ්‍යාපනය හමුවේ නුතන අධ්‍යාපනය (දැනුම) නපුංසක විය. අප හැමගේම ෆැන්ටසියට එරෙහිව ඔවුන් තම ජීවිතය පුදා ලෝක ගෝලය පුරා කැරළි ගසමින් ඇත. ඇත්ත ගැටළුව ඇත්තේ එතැනය.