''දෙමටගොඩදී අත්අඩංගුවට ගත් නැතැත්තා ජවිපෙ ක්‍රියාකාරිකයෙකු නොවේ‘‘ - ටිල්වින් සිල්වා


පාස්කු ඉරිදා දින ඇතිවූ ප්‍රහාරයට සම්බන්ධ යැයි සැකපිට දෙමටගොඩදී අත්අඩංගුවට ගත් පුද්ගලයා 2015 මහ මැතිවරණයේදී ජවිපෙ ජාතික ලැයිස්තුව නියෝජනය කළ අයෙක් බව තහවුරු වී තිබෙන බවත් මෙම පුද්ගලයා ජවිපෙ සාමාජිකයෙක් හෝ ක්‍රියාකාරිකයෙකු නොවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අද (23) නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 

ඔහු වැඩිදුරටත් පවසන්නේ,

ආණ්ඩුව අසමත්

''නිරායුධ අහිංසක සිවිල් පුරවැසියන් 300කට අධික සංඛ්‍යාවකට ජීවිත අහිමි කරමින් හා 500කට වැඩි ප්‍රමාණයකට තුවාල සිදුකරමින් පසුගිය 21දා එල්ල කරන ලද ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරයෙන් පසු මේ වනවිට රට තුළ අනාරක්ෂිතභාවයක් හා නොසන්සුන්තාවයක් මතුව තිබේ. මෙම තත්වය මගහරවා රට තුළ යළි සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාමට හැකි ආරක්ෂිත තත්වයක් නිර්මාණය කිරීම ආණ්ඩුවේ බලධාරීන් ඇතුළු කාගේත් වගකීම වේ.

මෙම ම්ලේච්ඡ ප්‍රහාරය වළක්වා ගැනීමට ආරක්ෂක අංශ හා ආණ්ඩුව අසමත්ව ඇති බව පැහැදිලිය. දැන් බලධාරීන් විසින් කළ යුත්තේ එකිනෙකාට දොස් පවරමින් තම වගකීමෙන් මිදීම නොව අදාල වගකීම් භාරගෙන මෙවැනි තත්වයන් යළි ඇති නොවීමටත් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරමින් විපතට පත්වූවන්ට සහන සැලසීමටත් පියවර ගැනීමය.

අනෙක් අතට සියලුම පුරවැසියන්ගේ හා දේශපාලන කණ්ඩායම්වල වගකීම වන්නේ මෙම සංවේදී මොහොත මෙම පටු දේශපාලන වාසි සඳහා යොදා නොගෙන වගකීම් සම්පන්නව කටයුතු කිරීමය. එහෙත් සමහර බංකොලොත් දේශපාලන කණ්ඩායම් ‘බොරදියේ මාළු බෑමේ’ උත්සාහයක නිරත වන බව පෙනෙන්නට තිබේ. ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කොට අවලාද නැගීම එවැනි උත්සහයක් බව පෙනේ. එබැවින් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කළ යුතු යැයි අපි සිතමු.

දෙමඩගොඩ තැනැත්තා

මෙ සිදුවීමට අදාළව දෙමටගොඩදී අත්අඩංගුවට ගනු ලැබ ඇති එක් පුද්ගලයෙක් 2015 මහ මැතිවරණයේදී ජවිපෙ ජාතික ලැයිස්තුව නියෝජනය කළ අයෙක් බව තහවුරු වී තිබේ. මෙම පුද්ගලයා ජවිපෙ සාමාජිකයෙක් හෝ ක්‍රියාකාරිකයෙකු නොවේ. ජවිපෙ ජාතික ලැයිස්තුවට නම් යෝජනා කරනු ලැබුවේ මැතිවරණයකදී තරඟ නොකරන විවිධ වෘත්තීන්ට හා විවිධ ජාතිකත්වයන්ට අයත් අයට අවස්ථාවක් දීම සඳහාය.

ජවිපෙ මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා අනුමත කරන පක්ෂයක් නොවන බවත් විනයගරුක හා වගකීමෙන් කටයුතු කරන පක්ෂයක් බවත් කුහක නොවන හෘදයසාක්ෂියක් ඇති සියලු දෙනාම දන්නා කරුණකි. එසේ තිබියදී මෙම සිදුවීමට අදාළ වූ සැකපිට අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙකු පදනම් කරගෙන ජ.වි.පෙ.ට අවලාද නැගීම බංකොලොත් දේශපාලන කණ්ඩායම් විසින් දුෂ්ට අරමුණින් සිදුකරන ක්‍රියාවකි.

වැරදිකරුවන්ට දඬුවම් දෙන්න 

මෙම සිදුවීමේදී අදාළ පුද්ගලයා හෝ ඔහුගේ පවුලේ අය මෙයට කිසියම්ම හෝ සම්බන්ධතාවයක් තිබේනම් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඩුවම් කිරීම ආරක්ෂක අංශවල කාර්යයක් වන අතර ඒ සඳහා ඕනෑම සහයක් ලබාදීමට ජ.වි.පෙ.ත් සූදානම් බවද අවධාරණය කළ යුතුය.

අවසාන වශයෙන් අවධාරණය කළ යුත්තේ, විවිධ පන්නයේ වංචාවලට දූෂණවලට වගකිව යුතු දූෂිතයන් සිය නිරුවත වසා ගැනීම සඳහාත් තම පටු දේශපාලන වුවමනාවන් සඳහාත් මෙවැනි සංවේදී සිදුවීම් යොදාගනිමින් ජනතා විමුක්ති පෙරමුණට අවලාද නැගීමට ඉදිරිපත් වීම කණගාටුවට කරුණක් බවය. එය වගකිව යුතු සියලු දෙනා විසින් ප්‍රතික්ෂේප කළ යුතු ක්‍රියාවකි.

එබැවින් මෙවැනි අවලාදවලින් නොමඟ නොයන ලෙසත් මෙම සංවේදී මොහොතේ වගකීමෙන් යුතුව එක්ව කටයුතු කරන ලෙසත් අපි සියලුම ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටිමු...‘‘ යන්නයි.