ත්‍රස්තවාදී මුර්ගයා යළිත් මාතෘභූමිය කෙළසීමට පටන්ගෙන තිබේ!


දශක ගණනාවක් තිස්සේ පැවති යුද්ධය අවසාන වී වසර දහයකට පසු අප හමුවේ ඇති ප්‍රභල අභියෝගය වන්නේ,  ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මේ දක්වා පැවති පරාමිතීන් වෙනස් වීම සහ ඒ සම්බන්ධයෙන් රටේ ජනතාව දැනුවත් කිරීමය.

කතුවැකිය 

මෙරට ඉතිහාසයේ විශාලතම නිරායුධ ජනතාවක් මරා දැමුණු දුෂ්ඨ සහ බියගුළු ප්‍රහාරය ඊයේ දින වාර්තා විය. මියගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව 290 ඉක්මවා තිබේ. ඉන් 35කට ආසන්න පිරිසක් විදේශීය ජාතිකයින් බව සඳහන්වේ. මෙය ඉතාම අවසනාවන්ත තත්වයක් පමණක් නොව රට වසර ගණනාවකින් ආපස්සට තල්ලු කිරීමකි. 

අදාළ ප්‍රහාරය ඉස්ලාමීය අන්තවාදීන් විසින් දියත් කළ එකක් බවට සැක කළ හැකි තොරතුරු රාශියක් ජනතාව අතර පැතිරෙමින් තිබේ. විශේෂයෙන්, අයි.එස්. ත්‍රස්තවාදීන් සමඟ ඍජු සම්බන්ධතා පවත්වාගෙන යන මෙරට කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය දියත් කළ බව ඇතැම් මූලාශ්‍ර සඳහන් කරනු ලබයි. 

එසේම ප්‍රහාරයේ ස්වභාවය ගැන සැලකිල්ලට ගැනීමේදී පෙනී යන්නේ, මෙය ඉස්ලාමීය අන්තවාදීන් විසින් දියත් කළ ප්‍රහාරයක් බවයි. විශේෂයෙන්  නිරායුධ සිවිල් වැසියන් මූලික වශයෙන් ඉලක්ක කර ගැනීම මෙම දුෂ්ඨ සහ බියගුළු ත්‍රස්තවාදීන් ලෝකය පුරාම  ඔප්පු කොට ඇති මූලික කාරණයකි.  

කෙසේ හෝ වේවා; මෙරට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින වත්මන් තත්වය ගැන බරපතළ තත්වයක් මෙම ප්‍රහාරය මූලික කරගෙන නිර්මාණය වී තිබේ. එසේම,  රටේ බුද්ධි අංශ ලබා දෙන වාර්තා පයිසයකට ගණන් නොගැනීම මෙම වින්නැහියට මූලික වටපිටාව සකස් වී තිබේ.

විවිධ දේශපාලන වාසී මූලික කර ගනිමින්, නිහඬව  වර්ධනය වන ඉල්ස්ලාමීය අනත්වාදී කල්ලි ගැන නිවැරදි පියවර නොගැනීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට විවිධ චෝදනා එල්ල විය. එසේම, 2009 පසු මෙරට බුද්ධි අංශ විසින් ක්‍රමානුකූලව පවත්වාගෙන ආ ක්‍රමවේදයන් කඩා බිඳ දැමීම සහ රටේ බුද්ධි අංශ කොන් කරමින් ජාතික ආරක්ෂාවට අදාළ තීන්දු තීරණ ගැනීම මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරීම ගැනද වත්මන් ආණ්ඩුවට චෝදනා එල්ල වේ.  

කෙසේ හෝ වේවා දැන් වැදගත් වන්නේ මෙම ප්‍රහාරය ගැන විවිධ ව්‍යාජ තොරතුරු ප්‍රචාර කිරීම නොවේ. රටේ ජන මාධ්‍යයන් වගකිව යුතු අන්දමින් හැසිරීම මෙහිදී වැදගත් වන අතර, ලෝකය හමුවේ තම මාධ්‍ය කලාව ම්ලේච්ඡයන් සතුටු කිරීම සඳහා  භාවිතා කරන්නක් බවට පත්කර ගැනීම නොවේ.  ඊයේ වූ සිදුවීම් ගැන වාර්තා කළ එක්තරා දේශීය රූපවාහිනී නාලිකාවක වාර්තාකරුවෙකු , බෝම්බ ප්‍රහාර මඟින් විපතට පත් වූ තුවාල  කරුවෙකුගෙන් විමසා සිටියේ, “ප්‍රහාරය ගැන කලින් හැඟීමක් හෝ නොදැනුණේද?” යන්නය. මේ ආකාරයෙන් තම වර්තාකරණයන් පුරා මාධ්‍යවෙදීන් අසනු ලැබූ  මෝඩ ගැටලු රාශියකි.  මළ මිනියක් තබා තුවාලකරුවෙකු හෝ නොපෙන්විය යුතු මාධ්‍යය භාවිතයක් තිබිය යුතු මොහොතක මළ කඳන් මතින් තම ග්‍රාහක ප්‍රමාණය වැඩි කර ගැනීමට උත්සහ කිරීම සැබවින්ම වෙනස්ම මාදිලියක ත්‍රස්තවාදයකි. 

මෙවැනි වටපිටාවක, වැදගත් වන්නේ සියලු දෙනාම තමන් අතින් සිදු වියයුතු වගකීම ඉටුකිරීම සහ නොවිය යුතු දෑ සඳහා මැදිහත් නොවීමය. මාධ්‍යවේදියා මාධ්‍යවේදයේ ඇති මූලික ධර්මතාවයන් වලට අනුකූලව කටයුතු කළ යුතු අතර, ඔවුහු පොලිසියේ කටයුතු නොකළ යුත්තේය. මේ ආදී වශයෙන් රටේ සියලුම දෙනා තම තමන්ගේ වපසරිය දැනගෙන කටයුතු කළ යුතුව ඇත. 

රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින්නේ ඉස්ලාමීය මූලධර්මවාදය නම් එය මීට පෙර මෙරට මුහුණ දුන් අභ්‍යන්තර ආරවුල් වලට වඩා ඉතාම වෙනස් සහ සංකීරණ දෙයකි. එබැවින් මේ සම්බන්ධයෙන් මනා සිහියෙන් යුතුව කටයුතු කිරීම සහ බුද්ධි අංශ නිලධාරීන්ට තම රාජකාරී කටයුතු කිරීම සඳහා අවශ්‍යය නිදහස මෙන්ම රැකවරණය ලබා දීම ආදිය මෙහිදී ඉතාම වැදගත් වේ.  

වාර්තාවෙමින් පවතින තොරතුරු වලට අනුව, ඉස්ල්මීය මූලධර්මවාදය කාලාන්තරයක් තිස්සේ මෙරට ක්‍රියාත්මක වෙමින් පැවති අනතුරකි. නමුත්, බොහෝ මූලධර්මවාදීන් ශ්‍රී ලංකාව භාවිතා කරනු ලැබුවේ  සැඟවීම සඳහා හෝ තමා මතවාදයන් ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය  අධ්‍යපාන වැඩපිළිවෙළවල් නිර්මාණය කිරීම සඳහාය.  නමුත් 2011 න් පසු මෙරට ජනතාවට විශාල කම්පනයක්  ලබා දීමට හැකි ප්‍රහාරයක් ගැන සැලසුම් කරමින් සිටි බව ඇතැම් වාර්තා සඳහන් කරනු ලබයි. ඊයේ සිදු වූ ප්‍රහාරය එහි ප්‍රතිඵලයකි. එය වසර ගණනාවක් තිස්සේ ඉතාම ප්‍රවේශමෙන් සැලසුම් කළ මෙහෙයුමක් බවත්, ඊට අවශ්‍යය බෝම්බ කරුවන් පුහුණු කිරීම සඳහා විශාල පරිශ්‍රමයක් දරා ඇතිබවත් මෙහෙයුමේ ඇති සවභාවය අනුව තේරුම් ගැනීමට  හැකිය. 

කෙසේ හෝ වේවා රට හමුවේ ප්‍රභල අභියෝගයක් යළිත් නිර්මාණය වී තිබේ. කොටි ත්‍රස්තවාදය නිමා වී හරියටම වසර දහයක් ගත වූ පසු යළිත් රට පුරා නවආකාරයක ත්‍රස්තවාදයක් ව්‍යාප්ත වී තිබේ. මෙය ඉලක්ක  කරනු ලබන්නේ, නිරායුධ සිවිල් වැසියන්ය.  

මෙම තත්වය විසින් ඇතිකළ හැකි අභියෝග ජය ගත හැක්කේ, තාක්ෂණය නිවැරදිව භාවිතා කිරීම, ජාතික-කලාපීය සහ ජාත්‍යන්තර වශයෙන් ඇති බුද්ධි තොරතුරු හුවමරු කරගැනීම සඳහා සාධනීය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම, විවිධ පටු දේශපාලන මෙන්ම අනෙකුත් වාසි වෙනුවෙන් පෙනී සිටින අයවලුන්ට රටේ ජාතික ආරක්ෂාව අපුලේ හෙලීමට ඉඩ නොදීම ආදී දෑ මනාව ක්‍රියාත්මක කිරීමෙනි.

2015 සිට අප අත්දුටු එක්තරා කාරණයක් වූයේ, ආරක්ෂක අමාත්‍යාංශය සඳහා ඉතාම කෙටි කාලයක් තුළදී ලේකම්වරුන් සිව් දෙනෙකු පත් කිරීමය. මෙය, මෙරට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් දේශපාලන නායකත්වය සතු කෞශල්‍ය කෙතරම්ද යන්න තීරණය කිරීම සඳහා ප්‍රමාණවත් වන එක් කාරණයක් පමණි. 

මීටම හරියන ලෙස පසුගිය කාලය තුළදී සිදු වූ ආරක්ෂක කේෂ්ත්‍රයට අදාළ මිළදී ගැනීම් සඳහන් කළ හැකිය. වසර හැටක් පැරණි යුධ ටැංකි මිළදී ගැනීම සඳහා මෙරට ආරක්ෂක අංශවලට සම්බන්ධ පිරිසක් චෙක් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතව ඇත්තේ ගෙවෙමින් පවතින සතිය තුළදීය. මෙම ගනුදෙනුවට ජනාධිපති සිරිසේන විරෝධය දැක්වුවද තිරය පිටුපස සිටින අයවලුන් කෙසේ හෝ එය සිදු කිරීමට සමත් වී ඇත. අවාසනාව මෙයයි. 

යළිත් සකස් කොට ඉතාම මැනවින් භාවිතා කළ හැකි යුදටැංකි තිබියදී චෙක් රාජ්‍යයේ සංචාරය කරනු ලබන්නේ වෙන කිසිවක් නිසා නොව මෙම ගනුදෙනුව පිටුපස සිටින අයවලුන්ට ලැබෙන ගතමනාව හේතුවෙනි. මෙවැනි ගනුදෙනු රාශියක් පසුගිය කාලය පුරාම සිදුවූ බව බොහොමයක් පුවත් වාර්තා සඳහන් කරනු ලැබීය. සැබෑ අවශ්‍යතාවය අභිබවමින් නැව් මිළදීගැනීම්, හෙලිකොප්ටර් මිළදී ගැනීම් ආදීය සඳහා  ඇතැමුන් වඩාත් වැඩි උනන්දුවක් දැක්වීම මෙම තත්වය තවදුරටත් තේරුම් ගැනීම සඳහා ලබාදෙන නිදසුන්ය.  

පැළඳගෙන සිටින යට ඇඳුම පමණක් ඉතුරු වන සේ අනෙක් සියල්ලම ගලවා දමා පරීකෂා කළයුතු පැරණි තාක්ෂණයක් භාවිතා කරන ගුවන්තොටුපල, වරායන් වැනි තැන් වලට වත්මන් තත්වයට ගැලපෙන තාක්ෂණය භාවිතා කිරීමට අවශ්‍යය රාජ්‍යය ප්‍රතිපත්ති ගැනීම වෙනුවට තමන්ගේ සහ තම ගෝලබාලයින්ගේ මඩිය තරකර ගැනීම සඳහා තීන්දු තීරණ ගැනීම සැබවින්ම කනගාටුදායක තත්වයකි. 

වත්මන් සන්දර්භය තුළ වැදගත් වන්නේ පැරණි යුධ උපායන් ශක්තිමත් කිරීම සඳහා ජාතික ධනය වැය කිරීම නොවේ තාක්ෂණික වශයෙන් ඇතිවී ඇති දියුණුව සැලකිල්ලට ඊට අනුගත විය හැකි ලෙස තීන්දු සහ තීරණ ගනිමින් කටයුතු කිරීමය. එසේම, සන්නිවේදනයට අදාළ කටයුතු සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් යොමු කිරීම ආදිය ඉතාම වැදගත් වේ.

දශක ගණනාවක් තිස්සේ පැවති යුද්ධය අවසාන වී වසර දහයකට පසු අප හමුවේ ඇති ප්‍රභල අභියෝගය වන්නේ,  ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මේ දක්වා පැවති පරාමිතීන් වෙනස් වීම සහ ඒ සම්බන්ධයෙන් රටේ ජනතාව දැනුවත් කිරීමය. එසේම සෑම වර්ගයක පොදුවන සේ ජාතික රාජ්‍යය ප්‍රතිපත්ති සකස් කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමය. 

ජනවර්ග අතර අභ්‍යන්තර ආරවුල් ඇතිකිරීම  ඔස්සේ මෙම දළුලමින්  ඇති වර්ගවාදය තව දුරටත් සුපෝෂණය වීම සිදුවිය හැකිය. 

ඉතිහාසය විසින් උගන්වනු ලැබූ නීරස පාඩම් වලින් උගෙන නොගැනීමේ වන්දිය ගෙවීම වෙනුවට ඒවායෙන් ලද පාඩම් ඉගෙන ගෙන එම පාඩම් ඉදිරි පරම්පරලා වලට අවබෝධ කරදීම ඉතාම වැදගත් වේ. 
මෙවැනි ප්‍රහාර යළි ඇතිවීම වළක්වා ලිය හැක්කේ එසේය. 

මේ මොහෙතේ වැදගත් වන්නේ, එකිනෙකාට ඇඟිල්ල දිගුකොට තමන්ගේ වගකීම් වලින් නිදහස් වී අනෙකා මත වැරැද්ද පැටවීම නොහොත් පහත් තැනින් වතුර ගලා යෑමට සැලැස්වීම නොව, යළිත් මෙවැනි ඛේදවාචකයට රට තල්ලු වීම වැලක්වීමට ගතහැකි සෑම පියවරක්ම ගැනීමය.