ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල අද සවස


උසස් මාධ්‍ය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීම උදෙසා මාධ්‍යවේදීන් විසින් සිදු කරනු ලබන මෙහෙවර සහ ඔවුන්ගේ නිර්මාණශීලි දායකත්වය ඇගයීම සඳහා පැවැත්වෙන ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල ජනාධිපති ‍මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සහභාගීත්වයෙන් අද (10) සවස 4.00 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්වේ.

සමාජ වගකීමෙන් යුත් මාධ්‍ය කලාවක් බිහි කිරීම සඳහා ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා, හැකියාවන් හා සුවිශේෂී නිපුණතා ඇගයීම මෙම සම්මාන උළෙලේ මුඛ්‍ය පරමාර්ථය වන අතර මෙය වාර්ෂිකව පැවැත්වීමට රජය විසින් තීරණය කර ඇත.

මෙම උළෙලේදී පුවත්පත්, රේඩියෝ, ටෙලිවිෂන් සහ වෙබ් යන ක්ෂේත්‍ර හතර නියෝජනය කරමින් භාෂාත්‍රයෙන්ම සම්මාන 47ක් සහ ජූරියේ විශේෂ සම්මාන 4ක් සමඟින් සම්මාන 51ක් පිරිනැමේ.

මාධ්‍ය ක්ෂේත‍්‍රයේ සුවිශේෂී මෙහෙවරක් සිදුකළ ප‍්‍ර‍්‍රවීණයන් සඳහා, දිවියේ එක් වරක් පමණක් පිදෙන “ජුරියේ විශේෂ සම්මාන” හා මුදල් ත්‍යාග පුවත්පත් ක්ෂේත‍්‍රය සඳහා කලාකීර්ති ආචාර්ය එඞ්වින් ආරියදාස මහතාට ද, ගුවන් විදුලි ක්ෂේත‍්‍රය සදඟා කරුණාරත්න අමරසිංහ මහතාට ද, රූපවාහිනී ක්ෂේත්‍රය සඳහා ලූෂන් බුලත්සිංහල මහතාට සහ වෙබ් ක්ෂේත‍්‍රය සඳහා ලක්ෂ්මන් ජයවර්ධන මහතාට ද පිරිනැමීමටද නියමිතය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමාගේ අධීක්ෂණය යටතේ අමාත්‍යංශ ලේකම් සුනිල් සමරවීරගේ මඟ පෙන්වීම යටතේ ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් මෙම උළෙලේ සියළු කටයුතු සංවිධානය කර ඇත.

රජයේ මැති ඇමතිවරුන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන්, රජයේ උසස් නිලධාරීන් සහ මාධ්‍යවේදීන් විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගී වීමට නියමිතය.