‘‘දකුණු ආසියාවේ විශාලතම වෙළඳ කලාපය හම්බන්තොට ආරම්භ කරනවා‘‘ - අගමැති



අවලාද හා අපහස මධ්‍යයේ විවිධ අභියෝගවලට මුහුණදෙමින් දුෂ්කර මාවතක් ඔස්සේ ආණ්ඩුව සියලූ කැපකිරීම් කර ඉදිරියට පැමිණියේ රටේ තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්‍ෂිත කර දීම සඳහා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගියදා (30) හම්බන්තොට, වීරවිල පැවැති ජාතික යොවුන් පුරය සමාප්ති උළෙලේදී පැවසුවේය. 

දස වැනි යොවුන් පුරය වීරවිල පශු සම්පත් භූමියේ පැවැති අතර, ඊට රටේ සියලුම දිස්ත්‍රික් නියෝජනය කරමින් තරුණ තරුණියෝ 8000 ක් පමණ පිරිසක් සහභාගී වී සිටියහ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ, අතීතයේ ශ්‍රී ලංකාවට පිටුපසින් සිටි රටවල් වර්තමානය වන විට සංවර්ධනවී ඉදිරියට පැමිණ තිබෙන බවත් ඒ තත්වය වෙනස් කොට මින් මතු වෙනත් රටකට අපව පසුකොට ඉදිරියට යෑමට ඉඩ නොතබන බවත්ය.   

මෙම අවස්ථාවට සජිත් ප්‍රේමදාස, සාගල රත්නායක, දිලිප් වෙදආරච්චි, එස්. තෙන්නකෝන් නිලමේ, එරන්ද වැලිඅංගේ, මහේෂ් සේනානායක ඇතුළු පිරිස සහභාගී වී සිටියහ. 

ජාතික යොවුන් පුරය සමාප්ති උළෙල අමතා අගමැතිවරයා දැක්වූ අදහස්, 

‘යොවුන් පුරය‘ ඔබේ අනාගතයයි 

‘‘ජාතික තරුණ සේවා සභාවට 50 වසරක් ගතවීම නිමිත්තෙන් මුද්‍රණය කළ සමරු මුද්දරයත් කවරයත් අද දිනයේ මට භාර දුන්නා. එය මට පළමුවෙන් භාර දුන්නේ පළමු යොවුන්පුර වැඩසටහනට සහභාගී වූ ගම්පහ යොවුන් සමාජයේ රංජිත් ආරියරත්න මැතිතුමා වීම විශේෂත්වයක්. අද දිනයේ 10 වැනි යොවුන් පුරය අපි පවත්වන්නේ වීරවිල ප්‍රදේශයේය. 

මේ යොවුන් පුරයට තරුණ අදහස් තරුණ බලාපොරොත්තු, තරුණ සිහින තරුණ ගැටළු ආදී සියල්ලම ගොනු වී තිබෙනවා. මෙහිදී අපි ඒවා පිළිබඳ සාකච්ඡා කරනවා. එය තරුණ ඔබගේ අනාගතයට ඉතා වැදගත්. අද දිනයේ මෙම යොවුන් පුරය ඔබේ අනාගතය නිර්මාණය කරන හම්බන්තොට කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට අපි තීරණය කලේ එම නිසයි. තරුණ ඔබට ජීවත් වීම සඳහා හොඳ අනාගතයක අවශ්‍ය වෙනවා. 

අපේ දෙමව්පියන් තරුණ අවධියේදී මේ රටට නිදහස ලැබෙන කාලයේ සංවර්ධනය අතින් අපි ආසියාව තුළ ජපානය සමග කරට කර සිටියා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ජනාධිපති වන විට අපට ඉදිරියෙන් කොරියාව, සිංගප්පූරුව සහ මැලේසියාව සිටියා. අපි සංවර්ධනය වෙනුවෙන් වූ තරඟය තුළ තරමක් පසුබෑමකට ලක්ව සිටියා. එම නිසා අපේ ආර්ථිකය විවෘත කිරීමට එදා අපි තීරණය කළා. නමුත් රට තුළ යුද්ධයක් ඇති වුණා. 2001 වසරේ අපි රට භාර ගන්නා විට බංගලාදේශය, වියට්නාමය, ඉන්දුනීසියාව වැනි රටවල් සිටියේ ශ්‍රී ලංකාවට පිටුපසින්. 

නමුත් අවාසනාවකට මෙවර අපි බලයට පත් වන විට මීට පෙර සිටි පාලකයින්ගේ කාලය තුළදී එම රටවල් ශ්‍රී ලංකාව අභිබවා ගොස් සංවර්ධනය ළඟා කර ගෙන තිබෙනවා. අද ඔවුන්ගේ ධනය වැඩි වී තිබෙනවා. එම රටවල්වල ජනතාවට අපේ රටේ ජනතාවට වඩා සුරක්‍ෂිත භාවයක් ඇතිවී තිබෙනවා. එම නිසා 2015 දී අප බලය ගන්නා විට ඒ සංවර්ධනය වීම සඳහා ශ්‍රී ලංකාවට ඇති අවසානම අවස්ථාව මෙය බව අප තීරණය කළා. මෙම අවස්ථාවේ රට ගොඩගන්නේ නැත්නම් රට තවත අගාධයට වැටෙන බව අප එදා තේරුම්ගත්තා. එම නිසා රටේ ආර්ථිකය තුළ විශාල පරිවර්ථනයක් සිදු කිරීමටයි අපි කටයුතු කළා. 

හම්බන්තොට වරාය කලාපීය වෙළඳ මධ්‍යස්ථානයක් කරනවා 

2017 වසරේදී නැව් නැති හම්බන්තොට වරාය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ චයිනා මර්චන්ට් සමාගම එක්ව ක්‍රියාත්මක වන ඒකාබද්ධ සමාගමට භාර දුන්නා. අද මම හම්බන්තොට වරාය නිරීක්‍ෂණය කරන විට ඉන්දියාවේ සිට මැදපෙරදිග, දකුණු අමෙරිකාව ආදී රටවල් වලට ප්‍රතිඅපනයන කිරීම සඳහා ගෙන්වන වාහන ගෙන්වන බව දුටුවා. එවැනි විශාල දියුණුවක් අද හම්බන්තොට වරාය අත්කර ගෙන තිබෙනවා. ඉදිරියේදී හම්බන්තොට වරාය කලාපීය වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත් කරනවා. විවිධ වාහන විවිධ භාණ්ඩ මෙම වරායට අපනයනය කරනවා.

එවිට මියන්මාරය, මැලේසියාව වැනි මෙම කලාපීය රටවල්වල මිනිසුන්ට මෙම වරායට පැමිණ තමන් කැමැති ව්‍යාපාරයක් මිලදී රැගෙන යාමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම ලාෆ් ගෑස් සමාගමේ එල්.පී.ජී. ගෑස් ගබඩාව නිරීක්‍ෂණය සඳහා මම ගියා. එය ඉන්දියානු කලාපය තුළ තිබෙන විශාලතම සහ නවීනතම එල්.පී.ජී. ගෑස් ගබඩාවයි. මෙවැනි නවීන එල්.පී.ජී ගෑස් ගබඩාවක් ඉන්දියාවේ පවා නොමැති බව පැවසිය යුතුයි. පසුගිය සතියේ හම්බන්තොට තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට අපට හැකි වුණා. මීට පෙර ලංකාවේ තෙල් පිරිපහදුව මධ්‍යස්ථානයක් ආරම්භ කළේ මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ වසරේදීයි. ඒ 1967 දීය. ඉන් පසුව ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් ආරම්භ කළේ වසර 60 කට පසුවයි. එයත් අපේ යහපාලන ආණ්ඩුව යටතේවීම විශේෂත්වයක්. 

හම්බන්තොට තෙල් පිරිපහදු මධ්‍යස්ථානය ඇරඹුවේ අපනයන කටයුතු වලටයි 

මෙම තෙල් පිරිපහදු මධ්‍යස්ථානය ආරම්භ කළේ අපනයන කටයුතු සඳහායි. ඒ වගේම විශාල සිමෙන්ති කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමටත් අපි කටයුතු කළා. ඒ වගේම එල්.එන්.ජී. විදුලි බලාගාරයක් ඉදි කිරීමටත් සැලසුම් සකස් කර තිබෙනවා. මත්තල ගුවන්තොටුපල ශ්‍රී ලංකා, ඉන්දීය සිවිල් ගුවන් සේවා අධිකාරී ඒකාබද්ධව පාලනය කිරීමට අවශ්‍ය කටයුතු අප සකස් කර තිබෙනවා. එවැනි විශාල පරිවර්තනයක් අපි මේ ප්‍රදේශයට ගෙන එනවා. අක්කර 5000 කින් සමන්විත දකුණු ආසියාවේ විශාලතම වෙළඳ කලාපය අපි හම්බන්තොට ආරම්භ කරනවා. ඉන් පසුව  මොණරාගලත් වෙළඳ කලයත් ආරම්භ කරනවා. 

"ස්මාර්ට් ෂර්ට්" ආයතනය බිංගිරියේ ඩො.මිලියන 100 ක ආයෝජනයක් කරනවා 

බිංගිරිය අයෝජන කලාපයේ වැඩකටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. එහි පළමු අදියර මේ වනවිට අවසන් වී තිබෙනවා. "ස්මාර්ට් ෂර්ට්" ආයතනය ඩොලර් මිලියන 100 ක කර්මාන්ත ශාලාවක් එහි ආරම්භ කරනවා. 

නුවර සිට කොළඹ දක්වා නව අධිවේගී මාර්ගයක් ඉදිකරනවා. කොළඹ සිට වරාය දක්වා නව මහා මාර්ගයක් ඉදිකරනවා. රාජගිරිය සිට කුළුණු මතින් දිවෙන මාර්ගයක් ඉදිකරනවා. සැහැල්ලූ දුම්රිය සේවාවක් ආරම්භ කරනවා. 2022 පමණ සිට නුවර සිට හම්බන්තොටටත්, කොළඹ ප්‍රදේශය තුළත් නව මාර්ග පද්ධතියක් ඉදිවෙනවා. 

මේ ආකාරයට අපි රටේ ආර්ථික පරිවර්ථනය ආරම්භ කරනවා. සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට අපි කටයුතු කරනවා. ඒ වෙනුවෙන් නව හෝටල්, සංචාරක කලාප ඉදිවෙමින් තිබෙනවා. ඇතැම් අය අද වනවිට "හෝම් ස්ටේ" වැඩසටහන හරහා සංචාරකයින්ට නවාතැන් ලබා දීම සිදු කරනවා.

රට තුළ ඩිජිටල්කරණය ඇතිකරනවා  

ඒ වගේම රට තුළ ඩිජිටල්කරණය ඇති කරනවා. එවිට අපනයන සහ අනෙකුත් සේවා තොරතුරු තාක්‍ෂණය හරහා දෙගුණයකින් තුන් ගුණයකින් පමණ වැඩි වෙනවා. ඒ සඳහා අවශ්‍ය ශිල්පීය පුහුණු කිරීම මේ වනවිට සිදුවෙමින් පවතිනවා. රටේ ධීවර අපනයනය ද වැඩි වෙමින් තිබෙන බව පැවසිය යුතුයි. 

මේ ආර්ථික වර්ධන වේගය තවත් වසර 05 ක් 06 ක් අඛණ්ඩව පවත්වාගෙන යනවා නම් ආසියාවේ අනෙක් රටවල් පසුකර සංවර්ධනය කරා ඉදිරියට යාමට හැකියාව ලැබෙනවා. එවිට අපේ රටේ ජනතාවට හොඳ අනාගතයක් නිර්මාණය වෙනවා. 

යොවුන්පුරයට දායක වූ තරුණ පිරිස

කොළඹ වරාය දියුණු කරනවා

කොළඹ වරාය විශාල කිරීමටත්, දකුණු වරායේ නව පර්යන්ත ඉදිකිරීමටත් කටයුතු සැලසුම් කර තිබෙනවා. කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන් තොටුපොළ මේ ආදී සියල්ල දියුණු කිරීමට අප කටයුතු කරනවා. මේ ඔබේ අනාගතයයි. මේ සංවර්ධනය අපි ආරක්‍ෂා කර ගන්නවා නම් ඉදිරියට යනවා නම් ඔබේ බලාපොරොත්තු ඉටු වෙනවා. ආර්ථිකමය, සමාජීය, අධ්‍යාපනික වශයෙන් දියුණුව ඇති වෙනවා. 

අද රටතුළ අධ්‍යාපනික ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් ඇතිවී තිබෙනවා. වසර 13 ක පාසැල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම, ද්විතික මට්ටමේ අධ්‍යාපනය තුළ වෘත්තීය දැනුම ලබාදීම, අධ්‍යාපන විද්‍යාපීඨවලින් මේ වසර තුළ පමණක් ඩිප්ලෝමාධාරීන් 10000 ක් ගුරු සේවයට බඳවා ගැනීම වැනි විශාල වැඩ කොටසක් අප සිදු කර තිබෙනවා. 

තව අවුරුදු 5 කින් පුහුණු ගුරුවරු පමණක් බඳවාගන්නවා 

තවත් වසර 05 ක් පමණ ගත වනවිට නුපුහුණු ගුරුවරුන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ නොමැති වන  බව පැවසිය යුතුයි. පුහුණු ගුරුවරුන් පමණයි අපේ ආණ්ඩුව යටතේ ගුරු වෘත්තීයට බඳවා ගන්නේ. විශ්වවිද්‍යාල සඳහා නේවාසික පහසුකම් වැඩි කිරීමට අපට හැකි වුණා. නව වෛද්‍ය විද්‍යාපීඨ 03 ක් ඇති කිරීමටත් නව ඉංජිනේරු පීඨ 02 ක් ඇති කිරීමටත් අපි කටයුතු කළා. නව තාක්‍ෂණ විද්‍යාපීඨ ඉදිකිරීමටත් මේ වනවිට සැලසුම් සකස් කර තිබෙනවා. ඉදිරියේදී නව විද්‍යා පීඨ 02ක් හෝ 03 ක් ඉදිකරනවා. 

අපේ වෘත්තීය පුහුණුව නිර්මාණය කරනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය නවීකරණය කරනවා. මේ ආකාරයට එම අංශ දියුණු කිරීමටත් අපි කටයුතු කරනවා. 

රට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කරනවා 

ඒ වගේම රටේ මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීමට අප සැලසුම් සකස් කර තිබෙනවා. පොලිසිය, විශේෂ පොලිස් බලකාය ඒ වෙනුවෙන් විශේෂයෙන් කැප වී තිබෙනවා. ඊයේ දිනයේ බොහෝ තරුණයින් මා සමග අදහස් දක්වමින් ඊයේ දිනයේ පවසා සිටියේ පොලිසියට හමුදාවට බැදෙන බවයි. එය ඉතා වැදගත් අවශ්‍යතාවයක්. පොලිසිය එදා ඇති කළේ නීතිය, පරමාධිපත්‍ය රැකීමටයි. පොලිසියට ගරු කිරීම එයට එක්වීමට කැමැත්තෙන් සිටීම ඉතා වැදගත්. හමුදාවට බැදීමත් ඉතාමත් හොඳ තීරණයක්. ඊශ්‍රායලය, සිංගප්පූරුව ආදී රටවල් දියුණු වූයේ හමුදා විනය නිසයි. රටේ විනය ඇති කිරීමට සමාජය, ආර්ථිකය දියුණු කිරීමට ඒ හරහා හැකි වෙනවා. එය පැය 24 කින් අවසන් කළ හැකි කාර්යක් නොවෙයි. නමුත් මේ වනවිට අප ක්‍රියාත්මක කර තිබෙන වැඩසටහන තවත් වසර 05 ක් 06 ක් අඛණ්ඩව ගෙන යනවා නම් අප රට දියුණු වන බව පැවසීය යුතුයි. 

ඒ වනවිට අපි හම්බන්තොට පැමිණෙනවා නම් අපට හඳුනාගැනීම පවා අපහසු වෙයි. 2017 වසරේ හම්බන්තොට වරාය අසළ නිවසක් කුලියට ගැනීමට රුපියල් 5000 ක් වත් වියදම් වූයේ නැහැ. නමුත් අද රුපියල් 15,000 ට වත් නිවසක් කුලියට ගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. තවත් වසර 02- 03 ක් පමණ ගත වන විට එම අගය තවත් වැඩි වෙන බව පැවසිය යුතුයි. 

මෙම වැඩකටයුතු ආරම්භ කිරීමට මෙතරම් කල් ගතවුණේ ඇයි දැයි තරුණයින් මගෙන් විමසුවා. මෙම වැඩසටහන් සාර්ථක කර ගැනීමට නම් ස්ථාවර ආර්ථිකයක් අවශ්‍ය වෙනවා. අපි ගත් ණය ගෙවිය යුතුයි. ඒවා ගෙවීමට අවශ්‍ය ශක්තිය ඇති කිරීමට වසර 02 – 03 ක් ගත වුණා. වැඩිම ණය ප්‍රමාණයක් ගෙවීමට තිබෙන්නේ මෙම වසරේයි. ඩොලර් මිලියන 5900 ක් මෙම වසරේ ගෙවීමට තිබෙනවා. එදා ජනතාවගේ දෝෂාරෝපණයට ලක් වන විට පළාත් සභා ඡන්දය පරාජයට පත් වන විට මෙම වැඩකටයුතු අපට නවත්වන්නට තිබුණා. මීට පෙර සිටි පාලකයන් මෙන් ඔබට බොරු ගොතා පැවසීමට තිබුණා. නමුත් අප එදා එසේ කළා නම් අද මේ තරම් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. 

අප ඔබේ අනාගතය ආරක්ෂා කරමින් ඉදිරියට යනවා 

චෝදනාවන්ට ලක්වෙමින්, විවේචන භාර ගනිමින්, මඩ ගැසීම්, පරාජය ආදියට මුහුණ දෙමින් අප ඉදිරියට පැමිණියා. ඔබට අනාගතයක් නිර්මාණය කිරීමට නම් බිය නැතිව ජනතාවට නිවැරදි දේ පවසමින් නිවැරදි මාර්ගයේ ගමන් කළ යුතුව තිබුණා. අප දියුණු වන්නේ ඒ ආකාරයට පමණක් බව අප එදා අවබෝධ කර ගත්තා. එක් මොහොතක හෝ අප ගෙන ආ වැඩසටහන් නතර කළා නම් අද මෙම ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. අපට අවශ්‍ය ඔබේ අනාගතය ආරක්‍ෂා කරමින් ඉදිරියට යාමයි. 

ඒ වෙනුවෙන් අප සියලූ දෙනා එකට එකතු විය යුතුයි. තරුණ ඔබ සවිබල ගැන්විය යුතුයි. අපේ අයවැය හරහා තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම වෙනුවෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ ඔබට ණය ලබා දීමට කටයුතු කර තිබෙනවා. අප්‍රේල් මස 05 වනදා අය වැය සම්මත වන විට එම ණය සහන ඔබට ලබා දීම අපි ආරම්භ කරනවා. තරුණ සේවා සභාව, යෞවන සමාජ හරහා ණය ඉල්ලීම පිළිබඳව ඔබව දැනුම්වත් කරනවා. ඒ සඳහා රජයේ බැංකු, මුදල් අමාත්‍යංශය වගේ අමාත්‍යංශයේ ස්වයං රැකියා ඒකකය ආදී සියලූ ආයතන එකට එක්වෙනවා. එම ණය පහසුකම් ඔබට මැයි මාසයේ සිට භුක්තිවිඳීමට අවස්ථාව සලසා දෙනවා. 
සමරු කවරය පිළිගන්වමින්


තරුණ, තරුණයින් සවිබල ගන්වන යහපාලනය 

ඔබ දක්‍ෂයෙක් නම්, ඔබට ඉදිරියට යාමට හැකියි නම් ඔබට දියුණු විය හැකියි. මෙහිදී මම ඔබේ දක්‍ෂතාවය හඳුනාගත්තා. ඔබ සියලූ දෙනාටම විවිධ දක්‍ෂතා තිබෙන බව අප දුටුවා. එම දක්‍ෂතා සමග ඔබ ඉදිරියට යා යුතුයි. මෙවැනි වැඩසටහන් ගණනාවක් යහපාලන රජය යටතේ ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ සියල්ලන් සිදුවන්නේ තරුණයින් සවිබල ගැන්වීමයි. 

තරුණ ඔබට ඉඩම් අයිතිය ලබා දිය යුතුයි යන අලූත් අදහසක් අද සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළා. එය අනුමත කරමින් ඉදිරියට ක්‍රියාත්මක කරන බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. 

තරුණයින්ට පමණක් නොවෙයි තරුණියන්ටත් ලබාදිය හැකි සහන පිළිබඳව සැලසුම් සකස් කළ යුතු බව මම තරුණ සේවා සභාවේ සභාපතිතුමාට සිහිපත් කරනවා. 

අද මෙම වැඩසටහනට නායකත්වය ලබාදීම පිළිබඳව සජිත් ප්‍රේමදාස ඇමැතිතුමාට අපි ස්තූතිවන්ත විය යුතුයි. එතුමා රට පුරා නිවාස ලබාදෙන අතරම, මෙම වැඩකටයුතු සඳහාත් සහභාගි වෙනවා. එතුමාගේ පියාත් යොවුන් පුරයට විශාල දායකත්වයක් ලබාදුන්නා. ජාතික තරුණ සේවා සභාවට වසර 50 ක් ගත වන මෙම අවස්ථාවේ තරුණ සේවා සභාව ආරම්භ කිරීමට නායකත්වය දුන් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාත් සිහිපත් කළ යුතුයි. 

දහම් පාසල් අධ්‍යාපනය නඟා සිටුවීමටත් සජිත් ප්‍රේමදාස අමාත්‍යතුමා කැප වෙන බව අපි දන්නවා. එම නිසා ඒ වෙනුවෙන් ආධාර උපකාර ලබාදීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ධර්මය, ආර්ථිකය, සමාජ දියුණුව, විනය, විනෝදය මේ සෑම දෙයක්ම ජනතාවට අවශ්‍යයි. එම නිසා සජිත් පේ‍ර්මදාස ඇමැතිතුමා මේ ප්‍රදේශයට ලබා දෙන නායකත්වය පිළිබඳව අපි සතුටට පත් වෙනවා. ඒ වගේම මෙම වැඩකටයුතු සාර්ථක කර ගැනීමට කටයුතු කරන සාගල රත්නායක ඇමැතිතුමාටත් ස්තූතිවන්ත විය යුතුයි. දිලිප් වෙදආරච්චි මැතිතුමාටත් ප්‍රශංසා කළ යුතුයි. එතුමාත් මේ වෙනුවෙන් විශාල සහයෝගයක් ලබා දුන්නා. 

ඒ වගේම මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහයෝගය ලබාදුන් හම්බන්තොට දිසා ලේකම්, පොලිසිය, හමුදාව, තැපැල් දෙපාර්තමේන්තුවට, මාධ්‍යයට සහ අනෙකුත් සංවිධාන වලට මම ස්තූතිවන්ත වනවා. 

තරුණ කමේ අදහස් මතු වෙන ස්ථානය මෙයයි මෙය අප ඉදිරියට ගෙන යමු. මින් පසු වෙනත් රටකට දෙවැනි නොවීමටත් අපේ තරුණ පරපුර වෙනුවෙන් හොඳ අනාගතයක් නිර්මාණය කිරීමටත් සුරක්‍ෂිත සැප පහසු ජීවිතයක් ඇති කර ගැනීමටත් අප තීරණය කර ගත යුතුයි. එම වැඩසටහන ඉදිරියට ගෙන යාම ඔබට භාර දෙන බව මම අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා.‘‘ යන්නයි.