ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 10 වැනිදා


උසස් මාධ්‍ය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීමට මාධ්‍යවේදීන්  සිදුකරන මෙහෙවර සහ ඔවුන්ගේ නිර්මාණශිලී දායකත්වය ඇගයීම උදෙසා පවත්වන  ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 2019 අප්‍රේල් මස 10 දින ප.ව 4.00 සිට 7.00 දක්වා කොළඔ බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්‍ත්‍රණ ශාලාවේ දී  පැවැත්වීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මාන උළෙල පවැත්වෙන බව අද (01) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ  පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර පැවසුවේය. මේ අවස්ථාවට මහාචාර්ය පැට්‍රික් රත්නායක ද එක්වී සිටියේය. 

මෙය පළමු ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලයි. 2017 වසරේ පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහිනී හා වෙබ් යන ක්ෂේත්‍ර සඳහා දායකත්වය හා ප්‍රතිභාව දැක්වු මාධ්‍යවේදීන් සඳහා  සම්මාන 47ක් පිරිනැමෙන අතර යාව ජීව සම්මාන 04ක් ද පිරිනැමේ.

මේ ගැන අදහස් දැක්වූ සුනිල් සමරවීර ප්‍රකාශ කර සිටියේ, සියලුම මාධ්‍ය ආයතන මේ සඳහා විශාල  දායකත්වයක් ලබා දුන් බවත්, සම්මානලාභීන් තෝරාගනු ලැබුවේ විද්වත් කමිටුවක් මඟින් බවත් මෙහි කිසිදු සම්මානලාභියෙකුට කිසිදු පෞද්ගලික හා දැනහැඳුනුම්කම් මත සම්මාන ලබා නොදෙන බවත්ය. මෙයට සමගාමීව අධ්‍යයන සංග්‍රහයක් ද එළි දැක්වීමට නියමිතය.