ශක්තිකට යුක්තිය නැද්ද ? - රටේ සිවිල් නීතිය පසෙකලා ICCPR පිළිසරණ පැතීම



ශක්තික සත්කුමාර සමාජ මාධ්‍ය තුළ පළකරන ලද ‘‘අර්ධ‘‘ කෙටිකතාව හේතුවෙන් ඔහුව ඊයේ (1) දින අත්අඩංගුවට ගෙන ලබන අප්‍රේල් 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ප්‍රදේශයේ ශාසනාරක්ෂක බල මණ්ඩලය හා බුදු දහම රැකගැනීමේ යොවුන් පෙරමුණ නමින් තමන් හඳුන්වාගත් සංවිධානයක් විසින් කරන ලද පැමිණිල්ලක් මත ලේඛකයාට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීමට පොල්ගහවෙල පොලිසිය ක්‍රියාකර තිබේ.

බෞද්ධ තොරතුරු කේන්ද්‍රය පසුගිය පෙබරවාරි 25 වැනිදා ශක්තිකට එරෙහිව, සිංහලේ සංවිධානයේ මහ ලේකම් වන මැඩිල්ලේ පඤ්ඤාලෝක සමග පූජ්‍ය අඟුලුගල්ලේ සිරි ජිනානන්ද පොලිස් මූලස්ථානයට ගොස් පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගත්හ. එහිදී ඔවුන් නැගූ ප්‍රධාන චෝදනාව වූවේ ශක්තික භික්ෂු චරිතයටත්, බුද්ධ චරිතයටත් නිගා දෙන කෙටි කතා මාලාවක් රචනා කළ බවයි.


'අර්ධ' කෙටි කතාව මගින් ආගමික ද්වේශයට අනුබල සපයා ඇති බවට ප්‍රදේශයේ ශාසනාරක්ෂක බල මණ්ඩලය හා බුදු දහම රැකගැනීමේ යොවුන් පෙරමුණ නමින් තමන් හඳුන්වාගත් අන්තවාදී සංවිධානයක් විසින් කරන ලද පැමිණිල්ලක් මත ලේඛකයාට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීමට පොල්ගහවෙල පොලිසිය ක්‍රියාකර තිබේ.

ශක්තික සත්කුමාර 

ශක්තික ගැන

2010 සහ 2014 වසරවල දී විශිෂ්ඨතම කෙටිකතාකරුවාට හිමි යෞවන සම්මාන දිනාගත් ශක්තිකගේ කෙටිකතා සංග්‍රහ තෙවරක්ම වයඹ සාහිත්‍ය සම්මානය හිමිකර ගෙන ඇත. කැළණිය විශ්ව විද්‍යාලයේ සිංහල විශේෂවේදී (ගෞරව) උපාධිධාරියෙකු, කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමාධාරියෙකි, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලේඛකත්ව හා සන්නිවේදන ඩිප්ලෝමාවද හිමි ශක්තික බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ බුද්ධ ධර්මය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකු ද වේ.

2017 වසරේ ශක්තික සත්කුමාර ලියූ ‘වැලි’ කෙටි කතා සංග්‍රහය රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ අවසාන වටයට නිර්දේශ විය. එම කෙටිකතා සංග්‍රහයම එම වසරේ වයඹ පළාත් සාහිත්‍ය සම්මාන උළෙලේ සම්මානයට පාත්‍රවිය. ‘කූඩු’ (2018) ‘සිව් වෙනි පරපුර’ (2016), ‘මිනී කපන්නාගේ හෘද සාක්ෂිය’ (2015), ‘පතොක් කටු’ (2012) සහ ‘කළු මකරා’ (2010), යනුවෙන් තවත් කෙටිකතා සංග්‍රහ, ‘විකිරණ ගැහැණිය‘ (2018) නම් කෙටිකතා එකතුව ‘වෙඩි වැදුන පන්හිඳ‘ (2010) ආදී කාව්‍ය ග්‍රන්ථ ද ඔහු විසින් රචනා කෙරුණි.

‘පණ ගැහෙන අකුරු’ (ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය), ආරියරත්න විතානයන්ගේ තෝරාගත් පුවත්පත් ලිපි පිළිබඳ විමර්ශනයක් වන 'ලුහු බඳින මිනිසා’ සහ ලෙනාඩ් වුල්ෆ්ගේ ‘බැද්දේගම‘ නවකතාව පිළිබඳ විමර්ශන කෘතියක් ද ලියා ඇත. එසේම උසස්පෙළට අදාළ සාහිත්‍ය විමර්ශන ද,‘හිරු සොයා යන මිනිස්සු’, සහ ‘මතක පාලම’ යන චරිත කතා සංග්‍රහ දෙක ද පළකර ඇත.  ජාතික පුවත්වල සාහිත්‍ය සංවාද මෙහෙය වූ සාහිත්‍ය විමර්ශන ලිපි රචකයෙකු ලෙස ද ශක්තික නම් කළ හැකිය.



‘‘අර්ධ‘‘ ගැන

විවාදයට තුඩු දී තිබෙන ‘‘අර්ධ‘‘ කෙටිකතාවේ සඳහන් වී තිබෙන්නේ සිවුරු හැර ගිය උපාධිධාරී භික්ෂුවකගේ කතාවක් වන අතර මෙහිදී ඔහු කියවන කෘතියේ අන්තර්තවී ඇති සිද්ධාර්ථ ගිහිගෙය හැරගියේ රාහුල ඔහුගේ දරුවෙකු නොවේ යැයි කියන ජේදයකි.

මෙම කෙටිකතාවේම අදාළ තැනැත්තා දකින සිහිනයක් ගැන ද දැක්වෙන අතර එම සිහිනයේ දැක්වෙන්නේ ලොකු හාමුදුරුවන්ගේ ලිංගේන්ද්‍රිය කපාදමා ඇති අන්දමයි.


‘‘අර්ධ‘‘ කෙටිකතාව 




නීතිය හෑල්ලුවට ලක්කිරීම 

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබද පනත (අයි.සී.පී.පී.ආර් පනත) යටතේ සත්කුමාරට එරෙහිව චෝදනා ගොනුකිරීමට පොලිසිය පියවර ගෙන ඇත. 2007 දී හඳුන්වා දෙන ලද අංක 56 දරණ අයි.සී.පී.පී.ආර්. පනත මගින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ සීමිත ප්‍රතිපාදන බලාත්මක කරනු ලැබුණි.

'වෙනස් ලෙස සැලකීම, එදිරිවාදීත්වය ‍හෝ ප්‍රචණ්ඩත්වයට පොළඹවන්නා වූ ජාතික, වාර්ගික හෝ ආගමික ද්වේශයට පක්ෂව කටයුතු කිරීම' අයි.සී.පී.පී.ආර්. පනත යටතේ නීති විරෝධී ලෙස සැලකෙන අතර අදාළ පනත යටතේ පවරන ලද නඩුවක චූදිතයන්ට ඇප ලබාදීමේ බලය මහේස්ත්‍රාත්වරයකු සතු නොවේ.

මේ පිළිබඳ සිය ෆේ්ස්බුක් ගිණුමේ සටහනක් තබන නීතිඥ වසන්ත සිරිවටගොඩ පවසන්නේ, වාරණ නියෝගයක් ගත යුත්තේ දිසා අධිකරණයෙන් හෝ ඊට ඉහළ උසාවියකින් බවත්, නීතිඥවරයෙකු මාර්ගයෙන් එම වාරණ නියෝගය ඉල්ලා සිටින්නේ නම් පොලිස්පති වුවද එය සිදුකළ යුත්තේ නීතිපති හරහා බවත්ය. මෙවැනි පසුබිමක රටේ සිවිල් නීතිය අනුව විසඳාගත යුතු ප්‍රශ්නයක්, අන්තර්ජාතික ප්‍රඥප්තියක් හෑල්ලුවට ලක්කරමින් අපරාධ නඩුවක් බවට පත්කර ඇති බවත්ය.

ජෝර්ජ් ඕවල් වරෙක පවසන්නේ, ‘‘නිදහස යනු තමන් සවන්දීමට අකමැති දේ වුවද මිනිසුන්ට පැවසීමට ඇති අයිතියයි‘‘ යනුවෙනි. කෙසේ වුවත්, නීතිය සිය වාසියට හරවා ගනිමින් කලා නිර්මාණයක් මෙන්ම නිර්මාණකරුවෙකු ද මර්දනය කිරීමේ පටු අරමුණෙන් යුතුව සිවිල් නීතිය යටතේ විසඳාගත යුතු ප්‍රශ්නයක්, අන්තර්ජාතික ප්‍රඥප්තියක් දක්වා දුරදිග ගෙනයෑම මෙන්ම, භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කිරීම අප තරයේ හෙළාදකිමු.