‘‘ස්වර්ණවාහිනී සේවකයින්ට සංවිධානය වීමට ඇති අයිතියට ගරු කරන්න‘‘ - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය



ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිතියක් පිහිටුවීමට මුල් වු මාධ්‍ය සේවකයින් පිරිසක ගේ සේවය අත්හිටුවීමට ස්වර්ණවාහිනි ආයතනයේ  පාලන අධිකාරිය වන ඊ බී සී සමාගම ගත් තීරණය ජන මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය සේවකයින්ට සංවිධානය වීමට තිබෙන අයිතිය උල්ලංඝණය කිරීමක් ලෙස සලකමින් එම තීරණය  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව හෙළා දකියි. 

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත ලැබි ඇති තොරතුරු වලට අනුව 2019 මාර්තු 18 වන දින ගාලු පාරේ පිහිටි ස්වර්ණවාහිනී මුලස්ථාන රථ ගාලේ දහවල් 12.00 ට පමණ පැවැති රැස්වීමකට සහභාගී වු ජනමාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයින් අතරින් පහළොස් දෙනෙකු ගේ සේවය එහි පාලන අධිකාරිය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.

ඔවුන් සේවයෙන් පහ කිරීමේ ලිපියෙහි මෙම රැස්වීම නිසා සිය ආයතනයේ දෛනික කටයුතු වලට බාධා පැමිණි බවත්, රැස්වීමට සහභාගි වු සේවකයින් නියමිත වේලාවට සිය රාජකාරි ස්ථාන වලට වාර්තා කිරීමට අපොහොසත් වු නිසාත්  වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන් සේවයෙන් පහ කරන බව සදහන් කර ඇත.


පසුගිය දශක දෙක තුළ මාධ්‍ය කර්මාන්ත ක්ෂේත්‍රයේ විශාල වර්ධනයක් සිදුවු  අතර ඊට සමානුපාතිකව එම කර්මාන්තයන්හි සේවයේ නියුතු ජනමාධ්‍යවේදීන් ගේ හා මාධ්‍ය සේවකයින් ගේ සංඛ්‍යාවද ඉහළ ගිය නමුත්, ඔවුන්ගේ සේවා තත්ත්වයන් ඉහළ නැංවීමට පාලන අධිකාරීන් උත්සුක නොවු බව ඉතා පැහැදිලි කාරණයකි.

ජනමාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයින්ගේ  වෘත්තීමය වශයෙන් සංවිධානයවීමේ අයිතිවාසිකම් ඇතුලු අනෙක් සේවක අයිතිවාසිකම් කුමන හේතුවක් නිසා වත් කේවල් කිරීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අනුමත නොකරයි. සේවයෙන් පහ කළ ජනමාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයින් වහාම නැවත සේවයේ පිහිටුවා ඔවුන්ට වෘත්තීමය වශයෙන් සංවිධානය වීමට තිබෙන අයිතියට ගරු ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ස්වර්ණවාහිනි පාලනාධිකාරියෙන් ඉල්ලා සිටියි.