‘‘අපි වෙනස් විය යුතුයි‘‘ - අගමැති රනිල්


ශ්‍රී ලංකා අන්තර් ජාතික වාණිජ මණ්ඩලය (ICC), CIMA ආයතනය සහ Daily FT පුවත්පත  විසින් සංවිධානය කරනු ලැබූ “ෆයර් සයිඩ් චැට් 2019” වැඩසටහන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) කොළඹ, හිල්ටන් හෝටලයේ දී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ අගමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, 
‘‘අපි 2015 දී රජය භාරගන්න විටදී  ආර්ථිකය කොච්චර නරක තැනකද තිබුණේ කියලා තේරුම්ගන්න.
ඒක ඉතාම අපහසු කාලයක්. මට මතක් වෙනවා මාග්‍රට් තැචර් අගමැති වුණු වෙලාවේ 79 දී ලන්ඩන් වල වීදිවල කැරලි ගැහුවා. මොකද මගේ මුදල් අමාත්‍යවරයා වැඩ පටන්ගත්තේ රාජ්‍ය සේවකයින්ට හොඳ පඩියක් දීලා. කිසිම රජයක් අපි කරපු විදියට වැඩකරන්න අකමැති වෙයි, නමුත් අපිට වෙන කරන්න දේවල් තිබු‍ුණේ නැහැ. ලංකාව වෙනස් විය යුතුයි. ඉන්දියන් සාගරයේ මධ්‍යස්ථානය බවට පත්විය යුතුයි‘‘ යන්නයි. 

මෙම අවස්ථාවට ජෝන් අමරතුංග, රවී කරුණානායක, හර්ෂ ද සිල්වා ආදී අමාත්‍ය පිරිස් ද, මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක, වැලිබල් වන් සමූහයේ නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා, ව්‍යාපාරික හැරී ජයවර්ධන, විදෙස් තානාපතිවරු, ව්‍යාපාරිකයින් ඇතුළු අමුත්තන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.