‘‘ජල සම්පත රැකගන්න එක්වෙන්න‘‘ - අගමැති




ලෝක ජල දිනය හෙට (22) දිනයට යෙදී තිබේ. මේ ඒ වෙනුවෙන් අගමැතිතුමා නිකුත් කළ පණිවිඩයයි. 

‘‘ජල සම්පත මහත් ගරුත්වයෙන් සැලකූ දේශයක් ලෙස ශ්‍රී ලංකාව අනාදිමත් කාලයක සිට ජල සම්පාදනය, කළමනාකරණය සහ සුරක්ෂිතතාව සම්බන්ධව සුවිශේෂ අවධානයකින් කටයුතු කොට ඇත. ජල කළමනාකරණයේ නවමු සංකල්පයන් අත්හදා බලමින්, ජල සම්පාදන ක්ෂේත්‍රය වඩ වඩාත් දියුණු කරමින් ජනතාවට ප්‍රතිලාභ සැලසූ විශිෂ්ඨ වාරි ඉතිහාසයක් අප රට සතු ය.

එක්සත් ජාතීන් ප්‍රකාශයට පත් කොට ඇති තිරසර සංවර්ධන අරමුණු අතර සැමට ජලය සහ සනීපාරක්ෂක පහසුකම් ලබා ගැනීම මෙන්ම, ඒවායේ තිරසර කළමනාකරණය සහතික කිරීම කෙරෙහි ද ප්‍රමුඛ අවධානය යොමු වේ. එහි සාමාජික රටක් ලෙස එම තිරසර අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා සහය ලබා දීම අපගේ ද වගකීමකි. 

සමස්ත ලෝකය උග්‍ර පානීය සහ පරිභෝජන ජල අර්බුදයක ගිලී සිටින මේ මොහොතේ, අපගේ අතීත ජල කළමනාකරණ උරුමයට නවමු අගයක් ලබා දෙමින් අපගේ ජල මූලාශ්‍ර සුරක්ෂිත කිරීම සහ ඒවායේ තිරසර කළමනාකරණය සඳහා කටයුතු කිරීම අතිශය වැදගත් යුග මෙහෙවරකි.  

අප සතු ස්වාභාවික ජල සම්පත රැකගැනීමට නම් සමස්ත ජනතාවගේ සක්‍රිය දායත්වය හිමි විය යුතුය. ඒ සඳහා සමාජය දැනුවත් කරමින් පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ලෝක ජල දිනය අනගි අවස්ථාවක් කරගනිමු.‘‘