ජාත්‍යන්තර මට්ටමේ නව උප්පැන්නයක් නිකුත් කෙරේ


ඉඩම් ලියාපදිංචි කිරීමේ එක්දින සේවාව හා භාෂා ද්විත්වයෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සැකසුණු නව උප්පැන්න සහතිකය නිකුත් කිරීම පිළිබඳව අද (14) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍ය වජිර අබේවර්ධන පැවසුවේ, නව උප්පැන්න සහතිකයක් නිකුත් කරන බවත් උප්පැන්න සහතිකය නිකුත් කරන අවස්ථාවේදීම ජාතික හැදුනුම්පත් අංකය නිකුත් වන නිසා  වංචනික උප්පැන්න සහතික නිකුත් කිරීමට අවස්ථාව නොලැබෙනු ඇති බවයි. 

මෙම සේවාවේ ජාතික මහෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 16 වන දින රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේදි පැවැත්වීමට නියමිතය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, 

“සාමාන්‍ය ජනතාවට නියමිත ක්‍රමවේදය මඟින් ලබාගැනීමේ පහසුව ඒ ආකාරයෙන්ම සුරක්ෂිත කරමින් හදිසි අවශ්‍යතා ඇති අයට මෙම ක්‍රමය අනුගමනය කරන්න පුළුවන්. අවුරුදු 155ක ඉතිහාසයක් තුළ ජනතාවට මහා ඛේදවාචකයක් ලෙස දෙපාර්තමේන්තුව පැවතුණේ.

ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව මුළු රටපුරා ඉලෙක්ට්‍රොනික් උප්පැන්න සහතික නිකුත් කිරීම ආරම්භ වෙනවා. ඒ උප්පැන්න සහතිකය වගේම විවාහ සහතික, මරණ සහතිකවලද විශාල වෙනස්කම් ගණනාවක් වෙනවා. උප්පැන්න සහතිකය අවශ්‍ය නොවන, පුරවැසියෙක් ලෙස අසිරුතාවයකට පත්වන කරුණු ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු  කර තිබෙනවා. 

ශ්‍රී ලාංකික අනන්‍යතාවය තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙම දෙපාර්තමේන්තුව ඉහළ තලයකට ගෙන ඒමට අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. මෙය ජාතික අවශ්‍යතාවයක්.”  යන්නයි. 
නව උප්පැන්නය


රෙජිස්ට්‍රාර් ජනරාල් චතුර විතානගේ මෙහිදී අනාවරණය කළේ, ශ්‍රී ලංකාවේ භාවිතවන උප්පැන්න සහතිකවලින් සියයට 17ක් හොර උප්පැන්න බවයි. එමෙන් ම විවාහ සහතිකවලින් සියයට 13ක් හොර විවාහ සහතික බවත්, සියයට 11ක් මරණ සහතික හොරට සාදා ඇති බවත් මෙරට තිබෙන ඔප්පුවලින් සියයට 42ක් හොර ඔප්පු බවත්ය. 

ඔහු වැඩිදුරටත් පැවසුවේ, 

''අපි මේ තත්ත්වය වෙනස් කරනවා. නව උප්පැන්නයක් හඳුන්වා දෙනවා. එහි ආරක්ෂිත ක්‍රමෝපායයන් රැසක් තිබෙනවා. අධෝ රක්ත කිරණ මගින් දර්ශනය කළ හැකි රාජ්‍ය ලාංඡනයක් ඉන් ප්‍රධානයි. 

ආරක්ෂිත ස්ටිකරයක් සහ පරිගණක කේත ක්‍රමයක් ද මේ උප්පැන්න සහතිකයට අඩංගු කර තිබෙනවා. ඒ වගේම මෙතෙක් උප්පැන්න සහතිකයේ තිබූ පුද්ගකත්වයට හානිවන ස්ථාන කිහිපයක් අපි ඉවත් කළා. 

තමන්ට අවශ්‍ය භාෂා ද්විත්වයකින් උප්පැන්න සහතිකය ලබාගන්න පුළුවන්. ඒ අනුව 2019 ජනවාරි 01 දා සිට උපන් සියලු දෙනාට මේ ජාතික උප්පැන්න සහතිකය ලබාදෙනවා. පසු අදියරක දී පැරණි උප්පැන්නත් මේ ආකාරයෙන් වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා." යන්නයි.