චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය අවසන්


13 වැනි චීන ජාතික මහජන ‍කොංග්‍රසයේ දෙවැනි සැසිවාරය අද (15) පෙරවරුවේ බෙයිජිං මහජන මහ ශාලාවේදී නිමාවට පත් විය. සැසිවාරය අවසානයේ චීන අග්‍රාමාත්‍ය ලී ඛ ච්‍යං දෙස් විදෙස් මාධ්‍යවේදීන් හමුවිය. ඔහු එහිදී පැවසුවේ චීන ආර්ථිකය ලෝක ආර්ථිකයේ වැදගත් ස්ථාවර සාධකයක් බවයි. චීනය වෙළඳපොළේ ජීවය උත්තේජනය කරමින් වෙළඳපොළ පිලිබඳ ප්‍රමුඛත්වයක් වශයෙන් පවතින නිර්මාණශීලි ධාරිතාව නිදහස් කර ගැනීම සඳහා පියවර ගන්නා බව හෙතෙම පැවසීය. ආර්ථික මෙහෙයුම් සාධාරණ පරාසයක පවත්වා ගෙන යාම සහතික කරමින් අධි ගුණයෙන් යුත් සංවර්ධනයක් ඉදිරියට ගෙන යාමට ද චීනය අපේක්ෂා කරන බව ලී ක ච්‍යාං පැවසීය.  

අලුතින් උදාවූ පහත වැටීමේ පීඩනයන්ට චීන ආර්ථිකය මුහුණ දෙමින් සිටින බව සත්‍යයක් යැයි චීන අග්‍රාමාත්‍යවරයා  මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ප්‍රකාශ කළේය. වර්තමානයේ මුළු ලෝක ආර්ථිකය මන්දගාමී වෙමින් පවතී. ජාත්‍යන්තර ප්‍රකට ආයතන කිහිපයක් ලෝක ආර්ථික වර්ධනය පහළ යනු ඇතැයි අනාවැකි පළ කර තිබේ. එම වාතාවරණය යටතේ චීනයේ ආර්ථික වර්ධන වේගය යම් මට්ටමකින් පහතට සකස් කිරීම යුක්ති සහගත ක්‍රියාවක් බව ලී ක ච්‍යාං මහතා පැවසීය. 

කොරියානු අර්ධද්වීපයේ නිර්න්‍යෂ්ටිකරණයට චීනය සෑම විට ම අනුබල දෙන බව ද  චීන අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසීය. ඔහු සඳහන් කළේ කොරියානු අර්ධද්වීපයේ සාමය හා ස්ථාවරත්වය පවත්වාගෙන යාම උතුරු-දකුණු කොරියා දෙපාර්ශ්වයටත් ආසියා කලාපයටත් ලෝකයටත් ඉවහල් වන බවයි. 

චීන-ඇමරිකානු සම්බන්ධතාව ඉදිරියට ගමන් කිරීමේ ප්‍රවණතාව වෙනස් නොවන බව ද  චීන අග්‍රාමාත්‍යවරයා පැවසීය. චීන-ඇමරිකානු වෙළෙඳ සාකච්ඡා‍ අත්හිටුවා නොමැති බවත් එම සාකච්ඡා මගින් අන්‍යෝන්‍ය යහපත් සහ ද්විත්ව ජයග්‍රහණ දිනා ගැනීමේ ප්‍රතිඵලයන් ලබා ගත හැකි යැයි බලාපොරොත්තු වන බවත් චීන අග්‍රාමාත්‍ය ලි ක ච්‍යං ප්‍රකාශ කළේය.

මේ අතර අද පෙරවරුවේ සැසිය නිමාවට පත් වීමට පෙර විදේශ ආයෝජන නීතිය චීන ජාතික මහජන කොංග්‍රසයෙන් සම්මත විය. එම රැස්වීමට සහභාගි වු නියෝජිතයින්ගේ වැඩි බහුතර‍ ජන්දයෙන් එය අනුමත වී තිබේ. විදේශ ආයෝජන කළමණාකරණය, ප්‍රවේශය, ප්‍රවර්ධනය, ආරක්ෂාව මෙන්ම චීනයේ විදේශ ආයෝජන සදහා නව හා මුලික නීතිය එමගින් ඒකාබද්ධ කොට තිබේ. විදේශ ආයෝජන ප්‍රතිපත්තීන්ගේ පාරදෘෂ්‍යතාව වැඩි දියුණු කිරීමත් දේශීය හා විදේශීය ව්‍යවසායන් සමාන මට්ටමකින් පවත්වාගෙන යාමත් මෙම නීතියේ අරමුණ වී ඇත.