නිලන්ත ජයවර්ධනගේ පත්වීමට පොලිස් කොමිසමේ අනුමැතිය

සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු තාවකාලික කොන්ත්‍රාත් පදනම යටතේ යළි සේවයේ පිහිට වූ ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පති රවී වෛද්‍යලංකාර මහතාගේ සේවා කාලය අවසන් වීමෙන් පසු එම ධූරයේ ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා හිටපු නියෝජය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාගේ පත් කිරීමට ශ්‍රී ලංකා පොලිස් කොමිසමේ අනුමැතිය ලැබී තිබේ. 

නිලන්ත ජයවර්ධන මහතා
රවී වෛද්‍යලංකාර මහතාගේ වසරක කොන්ත්‍රාත් කාලය පසුගිය පෙබරවාරී 18 වැනි දින අවසාන වූ අතර ඉන්පසු අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පති ධූරය පුරප්පාඩු විය. ඒ අනුව නියෝජය පොලිස්පතිවරයෙකු ලෙස සේවය කරමින් සිටි නිලන්ත ජයවර්ධන මහතා පසුගිය පෙබරවාරි 28 දින අදාළ තනතුරට පත් කරනු ලැබීය. 

අවාසනාවට මෙන් නිවැරදි කරණු අවබෝධ කිරීමකින් තොරව විවිධ මාධ්‍යයන් අදාළ පත් කිරීමට සහ රවී වෛද්‍යලංකාර  මහතාගේ තාවකාලීක වසරක සේවා කාලය අවසන් වීම ගැන විවධ ප්‍රචාරයන් දියත් කරනු ලැබීය. කෙසේ නමුත් එය ඉතාම නිවැරදි තීන්දුවක් මත ගත් ක්‍රියාමාර්ගයකි. 

වෛද්‍යලංකාර මහතාට කොන්ත්‍රාත් පදනම යටතේ සේවා දිගුවක් ලබා දීමට තීන්දු  කරනු ලැබුවේ ඒ වන විට වසර හතරක සේවා කාලයක් සම්පූර්ණ කරනු ලැබූ නියෝජය පොලිස්පතිවරයෙකු ජ්‍යෙෂ්ඨ පොලිස්පති ධූරය සඳහා පත් කිරීම සඳහා නොසිටීම හේතුවෙනි.  ඒ අනුව ජයවර්ධන මහතා අදාළ සේවා කාලය සම්පූරණ කිරීමෙන් පසු අදාළ ධූරයට පත් කරනු ලැබීය.

ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙකු වන අතර ඔහු වාණිජ වේදී විශේෂ උපාධියක් සහ  කළමනාකරණ පශ්චාද් උපාධියක් ලද්දෙකි. එසේම ගැටුම් නිරාකරණය පිළිබඳව ඩිප්ලෝමාවක් හදාරා ඇත. 

ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා එම ධූරයට පත් වූ ලාබාලතම නිලධාරියා වේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා  රාජ්‍යය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස වර්තමානයේදී කටයුතු කරනු ලබයි.