අල්ලස හා දූෂණය පිටු දැකීම ගැන කියාදෙන්න ගීතයක් එළිදකී



වසර ගණනාවකින් සංශෝධනය වී නැති අල්ලස් පනත්, වත්කම් බැරකම් පනත් ආදිය සංශෝධනය කිරීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බවත් ශ්‍රී ලංකාව තුළින් අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා වන පස් අවුරුදු ජාතික සැලැස්මට එළඹෙන 18 වෙනිදා වනදා කොළඹදී එළිදක්වන බවත් අල්ලස් හෝ දූෂණ විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න අද (7) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය. 

එමෙන්ම, අල්ලස හා දූෂණය පිටුදැකීමේ ගීතය එළිදැක්වීම ද මේ අවස්ථාවේදී සිදුවිය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, 

‘‘2017 ඔක්තෝබර් මාසේ කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා අල්ලස, දුෂණය තුරන් කරන්න අවශ්‍යයි කියලා. කැබිනට් මණ්ඩලය ඒ තීන්දුව ගන්න කොට අපි එක්සත් ජාතීන්ගේ දුෂණ විරෝධී ප්‍රඥප්තියට අත්සන් තබා තිබුණා. ඒ ප්‍රඥප්තියේ සමාලෝචන වාර්තා දෙකක් තිබුණා. ඒ හැම සැසියකදීම ඔවුන් කළ නිරික්ෂණයක් තමයි අපිට ජාතික සැලැස්මක් නැහැ කියන එක. කැබිනට් මණ්ඩලය මේ තීන්දුව ගනිද්දි ඒ කාරණයත් බලපාන්න ඇති. යුරෝපා සංගමයෙන් ජී.එස්.පී ප්ලස් සහනය ලබාගනිද්දිත් ඔවුන් නිරන්තරයෙන් මාව හම්බවෙන්න ආවා. විදේශ කටයුත අමාත්‍යංශය මාව බ්‍රසල්ස් නුවරට එක්කරගෙන ගිහිං මේ ජාතික වැඩපිළිවෙල ගැන කියාදුන්නා.‘‘ යන්නයි. 

2017 වසරේ විත්තිකරුවන් 57 දෙනෙකු වරදකරුවන් බවට පත් වූ බවත් එය 2018 වසරේ පුද්ගලයන් 64 දෙනෙකු වරදකරුවන් බවට පත් වූ බවත් එය ඉතිහාසයේ වැඩිම වරදකරුවන් පිරිසක් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව විසින් නීතිය ඉදිරියට ගෙනා අවස්ථාව බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. 


අල්ලස් නීතිය සංශෝධනයේ අවශ්‍යතාව ද මෙහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වාදුන්නේය. ‘‘අල්ලස් පනත්, වත්කම් බැරකම් පනත් වැනි පනත් අපි සංශෝධනය කරමිනුයි ඉන්නේ. වත්කම් නීතිය අවුරුදු 30 කින් සංශෝධනය වෙලා නැහැ. මේ ගැන ලෝකේ විශේෂඥයෝ ගෙන්න ගන්නවා. ඔන්ලයින් ක්‍රමයට මේක කරන්න බලාපොරොත්තු වෙනවා. හදිසියේම තමන්ගේ වත්කම මිලියනයකින් හරි ඉහළ ගියොත් සති දෙකක් ඇතුළත එය ඔන්ලයින් මාධ්‍යයෙන් අලුත් කළයුතුයි.

රාජ්‍ය ආයතන තමයි අල්ලස හා දූෂණය වැඩෙන තවාන. මේ තවන් නැති කරන්න ඕන. මෙය රාජ්‍ය සේවකයන්ට පමණක් නෙමෙයි මුළු රටටම බලපාන වැඩපිළිවෙලක්"