අල්ලස දූෂණය මෙරටින් තුරන් කරන ජාතික ක්‍රියාකාරී සැලැස්ම 18 වෙනිදා එළිදකී



පස් අවුරුදු සැලැස්ම 18 එළිදකියි 

ශ්‍රී ලංකාව තුළින් අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා වන පස් අවුරුදු ජාතික සැලැස්ම මේ මස 18 වනදා කොළඹදී එළි දැක්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා
 අද (7) ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේය. 

රටක අල්ලස දූෂණය තුරන් කිරීම සඳහා දර්ශනයක් තිබිය යුතුය. ඒ දර්ශනය සැලැස්මක ආකාරයෙන් සමස්ත මහජනතාවට ප්‍රදර්ශනය කළ යුතුය. අල්ලස දූෂණය තුරන් කරන්නට සමස්ත මහජනතාවගේ සහයෝගය ලැබෙන්නේ එවිටය. මෙම කාරණය 2015 බලයට පැමිණි රජය තේරුම් ගත්තේ 2017 ඔක්තෝබර් මසදී ය. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් අල්ලස දූෂණය තුරන් කිරීම සඳහා ජාතික සැලැස්මක් නිර්මාණය කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට දැනුම් දෙන ලදී. 

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, ජනාධිපති ලේකම් කාර්යාලය හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු සියලු ආයතන ඒකරාශී කර ගනිමින් මෙම ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමට සියලු පාර්ශවයන් ආවරණය වන පරිදි මහජන අදහස් ලබා ගැනීමට කටයුතු කරන ලදී. එ් අනුව දිවයින පුරා විද්වත් කතිකා 50 කට ආසන්න ප්‍රමාණයක් පවත්වා ඇති අතර ඉන් අවස්ථා 04 ක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී පවත්වා ඇත. ඒ අනුව මහජන න‍ියෝජිතයන් හට තම අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී ඇත. තවද රාජ්‍ය නිලධාරීන්, වෘත්තිකයන්, සිවිල් සංවිධාන, කලාකරුවන්, මාධ්‍ය ආදී සෑම ක්ෂේත්‍රයකින්ම අදහස් ලබා ගන්නා ලදී. එසේ ලබා ගන්නා ලද අදහස් සහ යෝජනා අඩංගු කරමින් අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා වන ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරන ලදී. එය 2019 පෙබරවාරි 05 වන දින කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත. 

මාර්තු 18 ජනගත කෙරේ 

එසේ අනුමත කරන ලද ජාතික ක්‍රියාකාරී සැලැස්ම උත්සවාකාරයෙන් දියත් කිරීම 2019 මාර්තු මස 18 වන දින කොළඹ දී සිදු කරනු ලබයි. ඒ සඳහා ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ සියලු මැති ඇමතිවරු සහභාගී වීමට නියමිතය. මෙම උත්සවය සඳහා දිවයිනේ සෑම ප්‍රදේශ‍යකින්ම සියලු ක්ෂේත්‍රයක්ම නියෝජනය වන පරිදි අමුත්තන් 1250 කට පමණ ආරාධනය කිරීමට බලාපොරොත්තු වේ. 

‍ශ්‍රී ලංකාව තුළින් අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා වන මෙම ජාතික ක්‍රියාකාරී සැලැස්ම අප රටින් අල්ලස හා දූෂණය තුරන් කිරීමේ ප්‍රධාන උපාය මාර්ග 04 ක් හඳුනා ගෙන ඇත. එම උපායමාර්ග 04 නම් නිවාරණය, යහපත් ආකල්ප වර්ධනය කිරීම, විමර්ශනය හා පැහැදිලි ශක්තිමත් කිරීම සදහා වන නීති හා නව නීති සහ ප්‍රතිපත්ති හඳුන්වා දීම ය. 

අල්ලස දූෂණය තුරන් කිරීමට සකස් කළ ජාතික ක්‍රියාකාරී සැලැස්මට සකස් කළ ග්‍රන්ථ 4 

තවද අල්ලස දූෂණය තුරන් කිරීමේ ලා ඉතාමත්ම තීරණාත්මක සාධකයක් වන කරුණු සම්බන්ධයෙන් ද සකස් කරන ලද ග්‍රන්ථ 04 ක් ජාතික ක්‍රියාකාරී සැලැස්ම සමඟ නිකුත් කිරීමට බලාපෙ‍ාරොත්තු වේ. මෙම ග්‍රන්ථ 04 නම්,

i. ත්‍යාග රීති අඩංගු යෝජනා කෙටුම්පත 
ii. බැඳියාවන් අතර ඝට්ටනයට අදාළ රීති අඩංගු කොට සාදන ලද යෝජනා කෙටුම්පත
iii. රාජ්‍ය නිලධාරීන් සඳහා සුපිළිපන්නබවේ අත්පොත 
iv. අල්ලස් වත්කම්, බැරකම්, කොමිෂන් සභා මැතිවරණ ප්‍රචාරණ සහ හඬ නඟන්නන්ට අදාළ නීති කෙටුම්පත් යෝජනා

ඒ අනුව ජාතික වැඩපිළිවෙල සහ ඉහත ග්‍රන්ථ 4 දියත් කිරීමට සැලසුම් සකස් කොට ඇත. ජාතික ක්‍රියාකාරී සැලැස්ම සහ මෙම ග්‍රන්ථ 4 ද්‍රවිඩ හා ඉංග්‍රීසි භාෂාවෙන් ද පරිවර්තන කටයුතු කර ඇත. ඒ අනුව ග්‍රන්ථ 15 ක් එළිදැක්වීම සඳහා සූදානමින් සිටී. 

මෙම ලියවිලිවල සැබෑ උරුමකරුවන් වන්නේ සබුද්ධික කතිකාවට පුරා වසරක් මුළුල්ලේ දායකත්වය දැක්වූ සමාජයේ හරස්කඩක් නියෝජනය කළ ජනතාවය. අපගේ අරමුණ වන්නේ සැබෑ හරයන්ගෙන් පෝසත් දරු පරම්පරාවක් නිර්මාණය කිරීමත් සුපිළිපන්න බවෙන් ඉහළ රාජ්‍ය හා පෞද්ගලික සේවයක් බිහි කිරීමත් යුක්තිය හා නීතිය සර්ව සාධාරණව සැමට එක සේ බෙදන කාර්යක්ෂම යුක්තිය පසිඳලීමේ ක්‍රමවේදයක් ඇති කිරීමය. 

ඉදිරි වසර 5 ක කාලය තුළ අපගේ ඉලක්කය මේ රටේ අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා සාමූහික හැඟීමෙන් යුතුව එකිනෙකාට පැවරී ඇති වගකීම හා කාර්ය භාරය ඉටු කිරීමයි.