‘ඇසිදිසි‘ ජනමාධ්‍ය ශිෂ්‍යත්ව මාධ්‍යවේදීන් 109 දෙනෙකුට පිරිනැමේ


වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත වි නොමැති වීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදින් විශාල වශයෙන් පීඩාවට පත් වී ඇති බවත්, වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ස්ථාපනය කිරි‍මෙන් පමණක් ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගෞරවය රැක ගත හැකි බවත්, ඒ තුළින් සමාජමය ආර්ථිකමය වටිනාකමක් ගොඩ නැගෙන බවත්, ''ඇසිදිසි'' ජනමාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය අමතමින් ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පැවසුවේය. ඒ අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවැති ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේදී ය. 


තවදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා සඳහන් කළේ, ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් සංවිධානය කරනු ලබන ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් ජනමාධ්‍යවේදියා දැනුම, කුසලතා හා ආකල්ප වැඩිදියුණු කර ගැනිමටත්,වෘතිතියමය වශයෙනි සංවර්ධනය කිරිමේ හැකියාව ඇති බවත්,21 වන සියවසට ගැලපෙන මාධ්‍යවේදියෙන් නිර්මාණය කර ගැනිම සඳහා අවශ්‍ය නූතන දැනුම උසස් අධ්‍යාපන දැනුමෙන් අපට ළඟා කර ගත හැකි බවත්ය.

මෙම අවස්ථාවට එක් වු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර අවධාරණය කළේ, වෘත්තීයමය ජනමාධ්‍ය පිරිසක් රටට අවශ්‍ය බවත්, අනිකුත් ක්ෂේත්‍රයන්ට සාපේක්ෂව අධ්‍යපනික මට්ටම ජනමාධ්‍යවේදීන්ගේ ඉහළ දැමිම සඳහා යෝජනා කර ඇති බවත්ය.

2006 වසරේ ජනමාධ්‍යවේදින් 11 දෙනෙක් සඳහා මෙම ශිෂ්‍යත්ව වැඩ පිළිවෙල ආරම්භ කළ අතර මේ වසරේදී එය ශිෂ්‍යත්ව 109ක් දක්වා ඉහළ නංවා ඇත. දිවයිනේ පිළිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල වසර 3ක සේවා කාලයක් සපුරා ඇති පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන පදනම මත සේවයේ නියුතු මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ වෙබ් මාධ්‍යවේදීන්ට මෙම ශිෂ්‍යත්ව ලබා දේ. 

උපාධි, පශ්චාත් උපාධි සඳහා රුපියල් ලක්ෂ දෙකක (200,000.00) මුදලක් හෝ කෙටි කාලීන හෝ දිගු කාලීන සහතික පත්‍ර පාඨමාලා, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා පාඨමාලා සඳහා රුපියල් ලක්ෂයක (100.000.00) උපරිමයකට යටත්ව මෙම ශිෂ්‍යත්ව මුදල් ලබා දේ. ශිෂ්‍යත්වලාභීන්ට පිළිගත් විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපනික පුහුණු ආයතන මඟින් පවත්වනු ලබන මාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ පාඨමාලාවක් හැදෑරිය හැක.

මේ අවස්ථාවට රජයේ ප්‍රවාත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) රමණි ගුණවර්ධන මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වුහ.