ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවයේ සතුරන් කවුද ?




- වෛද්‍ය රුවන් එම් ජයතුංග -

නීරෝගී නොවන සමාජයක් සෑමකල්හිම සතුරෙකු හෙවත් අනෙකා සොයා යති. සම්පත් අඩු වීම, දැනුමේ සහ හැකියාවන් සීමා වීම, ආචාර ධර්ම පිලිබඳ දැනුම හීන වීම වැනි කරුණු මෙම තත්ත්වය උග්‍ර කරයි. මේ නිසා සෑම විටම අනෙක් පාර්ශ්වය සතුරෙකු විට දකියි. සතුරෙකු නොමැති වීම ඔවුනට කාංසාව ගෙන දෙයි.

පේරාදෙණිය වෛද්‍ය පීඨය ආරම්භ කළ අවස්ථාවේදී විශාලතම විරෝධය එල්ල වූයේ කොළඹ වෛද්‍ය පීඨයෙනි. කොළඹ වෛද්‍ය පීඨයට පේරාදෙණිය අනෙකා විය. ඉන් පසුව රුහුණු වෛද්‍ය පීඨය ආරම්භ කිරීමේදී කොළඹ සහ පේරාදෙණිය රුහුණ තම අනෙකා ලෙස දුටුවෝය. මේ විරෝධයන් නිසා රුහුණු වෛද්‍ය පීඨයට මුල් වසර කීපය තුලදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිගැනීම පවා ප්‍රමාද විය.

මාගේ ගුරුවරයෙකු වන විශේෂඥ නාරි හා ප්‍රසව වෛද්‍ය අජිත් සේමසිංහ මහතා රුහුණ වෛද්‍ය පීඨයේ ආරම් භක සිසුවෙකු විය. ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවයේ අනෙකා සොයා යාම නිසා ඔහුට නාරි හා ප්‍රසව විශේෂඥතාව ලබා ගැනීම සඳහා දෙවසරක් ශල්‍ය වෛද්‍ය විද්‍යාව හැදෑරීමට සිදු විය.

රාගම පුද්ගලික වෛද්‍ය විදුහල ආරම්භ වූ අවස්ථාවේදී ඉතා පහසුවෙන් එය අනෙකා බවට පත් විය. රාගම පුද්ගලික වෛද්‍ය විදුහල පොදු සතුරා විය.

රාගම වෛද්‍ය විද්‍යාලය සමතලා කිරීමෙන් පසුව ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවයේ අනෙකා වූයේ සහකාර වෛද්‍ය නිලධාරීන් ය. සහකාර වෛද්‍ය නිලධාරීන් තම සතුරන් ලෙසට හුවා දක්වනු ලැබූහ. අවසානයේදී සහකාර වෛද්‍ය නිලධාරීන් පුහුණු කිරීමද නවතා දමනු ලැබීය.මේ නයින් ඊලාම් යුද්ධයේදී සහකාර වෛද්‍ය නිලධාරීන් විසින් සිදු කල මෙහෙයද ඉතා කුහක ලෙස අමතක කරන ලදී.

සහකාර වෛද්‍ය නිලධාරීන් හඹා යාමෙන් පසුව ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවයේ අනෙකා වූයේ විදේශ වෛද්‍ය උපාධිධාරීන්‍ ය. එක් රැයකින් ඔවුන් ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවයේ සතුරන් බවට පත් වූහ.

රුහුණ වෛද්‍ය පීඨය ආරම්භ කිරීමෙන් වසර ගණනාවකට පසුව කැළණිය වෛද්‍ය පීඨය විවෘත කරනු ලැබීය. මුල් කාලයේදී කැළණිය පොදු සතුරෙකු විය. 2000 වසරේදී මා සේවය කළේ උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේය. එහිදී කොළඹ වෛද්‍ය පීඨයේ උගත් ජ්‍යෙෂ්ඨ රෙජිස්ට්‍රාවරයෙක් නිබඳවම ප්‍රසිද්ධියේ කැළණිය වෛද්‍ය පීඨයේ සිසුන් පහත් කොට බැණ වැදීමට පුරුදුව සිටියේය. ඔහුගේ මතය අනුව කැළණිය වෛද්‍ය පීඨය ආරම්භ කිරීම බරපතල වරදකි.

මෑත කාලයේදී ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවයේ අනෙකා බවට පත් වන්නේ සයිටම් ආයතනයයි. සයිටම් ආයතනය බැහැර කිරීමෙන් පසුව මේ වන තෙක් පොදු සතුරෙකු නොමැත. එහෙත් ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවය විසින් ඉතා ඉක්මනින් අනෙකා හෙවත් පොදු සතුරෙකු සොයා ගනු ඇත.