'ලසන්තව මැරුවේ ගෝඨාභය රාජපක්ෂ' - රන්ජන්






මෛත්‍රීපාල සිරිසේන ජනපති ලෙස ජනවරම ලබාගෙන අදට (8) සිව් වසරක් ගතවේ. යහපාලන රජයක් වෙනුවෙන් ඇපකැප වන බව පුන පුනා පැවසූ ඔහුගේ මැතිවරණ වේදිකාවේ ‘සන්ඩේ ලීඩර්‘ පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතකයින්ට නීතිය ක්‍රියාත්මක කරන බවට වූ පොරොන්දුව අතිශය ජනප්‍රිය මාතෘකාවක් වී තිබුණි. ලසන්ත ඝාතනයට අදට වසර 10 ක් සපිරෙන මොහොතේදී පවා ඔහුගේ ඝාතකයින් නීතිය හමුවට පමුණුවන්නට ජනාධිපතිතුමා සමත් වී තිබේද ?









ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වසර 10 ක් සපිරීම නිමිත්තෙන් බොරැල්ල කනත්තේදී අද පැවති සැමරුමෙන් පසුව මාධ්‍යට අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අවධාරණය කර සිටියේ, ගෝඨාභය රාජපක්ෂ සෘජුවම ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ බවත් ඝාතකයින්ට යුක්තිය ඉටුකිරීමේ වගකීම ජනපතිට මෙන්ම අගමැතිට පැවරී තිබෙන බවත්ය.





මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු අවධාරණය කළේ,









ලසන්තගේ ඝාතකයින් සොයාගෙන අවසන්





‘‘ඇත්තතෙන්ම, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මැතිවරණ වේදිකාවේ දිගටම විකුණෙන්නේ ලසන්ත වික්‍රමතුංග මහත්තයාගේ නම. ලසන්ත වික්‍රමතුංග මහත්තයා අද වගේ දවසක අවුරුදු 10 කට පෙර සිදුවූ ඒ මරණය තමයි විටින් විට පළාත් සභා, ප්‍රාදේශී සභා, පළාත් පාලන, පාර්ලිමේන්තු, ජනාධිපති මැතිවරණ වල ප්‍රධාන සටන් පාඨය වුණේ. ප්‍රධාන ස්ලෝගන් එක වුණේ.






නමුත්, ඇත්තෙන්ම මම දන්න විදියට, මට තියෙන තොරතුරු අනුව දැන් මේ ඝාතනයේ ඝාතකයින් සියලුදෙනා සොයාගෙන අවසන්. නමුත්, එකම අවාසනාවන්ත සිද්ධිය තමයි ලසන්ත වික්‍රමතුංග කියන පුද්ගලයා ඉපදුණේ ප්‍රභූ පවුලක නොවෙන එක.










ඉතිහාසය බැලුවම සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ඒ කාලේ තමුන්ගේ සැමියා වන එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්මයා ඝාතනය වුණාම එතුමිය නීතිය වෙනස් කරලා සෝමාරාම බුද්ධරක්ඛිත ඇතුළු අයව එල්ලා මරලා ආයේ නීතිය වෙනස් කළා. නමුත්, ඊට පස්සේ මරපු අයට සාධාරණත්වයක් ඉෂ්ට වු‍ණේ නැහැ. බණ්ඩාරනායක මහත්තයා ප්‍රභූවරයෙක් නිසා ඔහුට සාධාරණයක් ඉෂ්ට වුණා. ලසන්ත තමුන්නාන්සේලා, අපි වගේ සාමාන්‍ය පවුලක ඉපදුණු දුප්පත් මාධ්‍යවේදියෙකු වීම. ඒක තමයි මේක ඉස්සරහට නොයන්නේ.





ලසන්ත සැමරුමේදී









ඇත්තටම, මහ දවල් බැරියර් දෙකක් මැද බෝල්ට් ගන් එකකින් මේ කරපු ඝාතනය ගැන සියලු සාක්ෂි, බී වාර්තා, සර්ටිෆයිඩ් කොපීස් මේ සියලු දේවල්, මේ අයව අද සොයාගෙන අවසන් වෙලා තියෙද්දී මේක යට ගහන්න්නේ මේ ආණ්ඩුවෙම, ගිය ආණ්ඩු වල ප්‍රබලයන්, ප්‍රභූවරයන් කියන එක තමයි මගේ මතය. මේ අද බොරැල්ල කනත්තට ඇවිල්ලා සිටින සියලුදෙනාම, මා ඉදිරිපිට සිටින තමුන්නාන්සේලත් මේ ඝාතනය කවුද කළේ කියන එක හොඳටම දන්නවා.






ඒක හැබැයි, මේ රටේ විතරක් නෙමෙයි ජමාල් කෂෝගිගේ ඝාතනය කළේ කවුද කියන එක හැමෝම දන්නවා. ඒවා සල්ලි වලින් යටපත් වෙන තත්ත්වයක් තියෙන්නේ, අද නම් යටපත් වෙලා තියෙන්නේ මුදල්, බලය, ප්‍රභූ පැලැන්තිය මේ සියලු දේවල් මේකට සම්බන්ධයි.
අපි කවුරුත් දන්නවා ‘සන්ඩේ ලීඩර්‘ පත්තරේ මිග් යානා ගනුදෙනුව ගැන ලියන්න ගිහිල්ලා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට බීබීසී එකෙන් අහද්දි කේන්ති යනවා. ඒ නිවේදකයා අහද්දි ‘Who is Lasantha, Who cares Lasantha’ ඔන්න ඔහොමයි කතා කළේ, ඒ කේන්තියත් එක්ක මට ප්‍රධාන සැකය තියෙන්නේ මේකට සෘජුව සම්බන්ධයක් තියෙන්නේ වෙනින් කවුරුත් නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ. අපේ රටේ අවාසනාව තමයි ඒ ගෝඨාභය රාපක්ෂ ලසන්තව මැරුවා කියලා දැන දැන ඒ මිනීවරුවාවම ජනාධිපති අපේක්ෂක කරන විහිළු රටක් බවට අද අපේ රට පත්වෙලා තියෙනවා. ඔහුට ජය වේවා කිය කිය යන රටක් බවට පත්වෙලා තියෙනවා.





මේකට සරත් ෆොන්සේකාව ගාවන්න හදනවා






මේකට සරත් ෆොන්සේකා මහත්තයාව ගාවන්න හදනවා. එහෙම ගාවන්න හදන අයගෙන් අහනවා පහුගිය යුගයේ සරත් ෆොන්සේකා මහත්මයා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉල්ලුවා. එතකොට මේක ගේන්න තිබුණා. ඔහුව නිකං බයිනෝකියෝ ගෙනාවා කියලා එතුමව සිරගත කළේ. මේ චෝදනාවට එතුමා වැරදි නම් එතුමව සිරගත කරලා මහින්ද රාජපක්ෂ මහත්තයට තිබුණා ජනාධිපති අපේක්ෂකයා විදියට ඉල්ලන කාලේ සරත් ෆොන්සේකා මහත්මයව අනිවාර්යයෙන් හිරේ යවන්න ඕන.









ඒ කියන්නේ මේකට සියලුදෙනා වක්‍රාකාරව හෝ සෘජුව බහුතරයක් සම්බන්ධයි. මේ දේ වෙන්න සුමානෙකට ඉස්සරලා සොනාලි සහ ලසන්තව ගෙනල්ලා රාජකීය වෛද්‍යවරයා වන ඒලියන්ත වයිට් කොන්දේ අමාරුවකට පේන් කිලර් දෙන්න පවා මහින්ද රාජපක්ෂ මහත්තයා සූදානම් කරලා ඒක වීඩියෝගත කරලා තිබුණා. ලසන්ත ගියා ඒ ඩිනර් එකට. ඔහුගේ අන්තිම රාත්‍රිය රජතුමා සමග. ඉතිං, එහෙම තමයි ඉතිහාසය ලියවුණේ, සොනාලිත් ඒක කිව්වා. ඒක කවුරුත් දන්නවා. එතැනත් කෑවේ ආප්ප.










https://www.facebook.com/real.rr/videos/356676361578877/





ඊට පස්සේ ලසන්ත කීපවතාවක්ම සීඅයිඩී එකට වාර්තා කළා, ‘මගේ වටේ සැකකටයුතු මෝටර් බයිසිකල්කරුවන් කැරකෙනවා‘ කියලා. ඉතිං ඒ වගේ පහුගිය ටිකේ අපි දැක්කා කෑගල්ලේ මැරුණා එක ඇකියුස් කෙනෙක්. ඒ පුද්ගලයා ලසන්තට කතා කරලත් නැහැ, ලසන්තව දන්නෙත් නැහැ. මෙය අහිංසක රණවිරුවන් යොදාගෙන, අහිංසක කියන්නේ රණවිරුවන්ට - ඔවුන්ට කිසිම ආරෝවක්, කිසිම හැප්පීමක් තිබුණේ නැහැ ලසන්ත සමග. ලසන්තව දැකලත් නැහැ, කතාකරලත් නැහැ. අඳුනන්නේ නැහැ.










එතකොට ඒ කාලේ ආරක්ෂක ලේකම් හැටියට හිටපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කළේ තමුන්ට තියෙන පෞද්ගලික වෛරය, තමුන්ට මරන්න ඕන අයව රණවිරුවෝ යොදාගෙන මරලා ඊට පස්සේ එයා හැංගුණ එකයි.









රණවිරුවන් කළේ කාගේ හරි කොන්ත්‍රාත් එකක් - ඔබට අණදුන්නු මිනීමරුවාගේ නම කියන්න









ඉතිං, මම හිතනවා රණවිරුවන්ට විශාල වගකීමක් තියෙනවා. මේ රටේ ජනතාවට වගකියන රණවිරුවන්ට, ‘අපි දන්නවා ඔබලා අහිංසකයි, ඔබලා කළේ කාගේ හරි කොන්ත්‍රාත් එකක්. ඒ නිසා රණවිරුවන්ගෙන් බොහොම බැගෑපත්ව, ආයාචනාත්මකව, ගෞරවයෙන් ඉල්ලා හිටිනවා, ඔබලාට ඕඩරේ දුන්න, ඔබලාට අණදුන්න, ඒ මහා මිනීමරුවාගේ නම කියන්න. එතකොට වැඩේ ඉවරයි.‘‘ යන්නයි.






ගෝඨාභය රාජපක්ෂ මේ ඝාතනය සිදුකළ බවට අවශ්‍ය තරමටත් වඩා සාක්ෂි ලැබී තිබෙන පසුබිමක මෙහි නීතිමය පියවර පසුබෑමට ලක්ව තිබෙන්නේ ඇයි දැයි යන්න මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී පැවසුවේ,






ජනපති - අගමැති මේ ඝාතකයින් නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කළයුතුයි





‘‘එ්ක අහන්න ඕන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන්, ගරු අගමැති රනිල් වික්‍රමසිංහගෙන්, ඒවගේම හිටපු අධිකරණ ඇමතිවරුන්ගෙන්, නීතිය හා සාමය හිටපු ඇමතිවරුන්ගෙන් සහ සීඅයිඩී එකේ ෂානි අබේසේකර, රවී සෙනෙවිරත්නලාගෙන්, සියලු දේවල් ඉදිරිපත් කරද්දිත් මේක නැවතිලා තියෙන්නේ ඒ ප්‍රශ්නය තමුන්නාන්සේලා අහන්න ඕන වේදිකාවේ මේ ගැන පුන පුනා මේකට සාධාරණත්වයක් ඉෂ්ට කරනවා කියපු අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් හා අගමැතිතුමාගෙන්. අගමැතිතුමාගේ මිත්‍රයෙක් මේ ලසන්ත වික්‍රමතුංග මහත්මයා. එතුමා මියගිය දවසෙත් අපි කට්ටියම මේ බොරැල්ල කනත්තේ මෙතැන්ටත් ආවා. අගමැතිතුමාගේ මැතිවරණ පොරොන්දුවක් වගේම යුතුකමක් තමන්ගේ මිත්‍රයාගේ මරණය පිළිබඳව තොරතුරු අනාවරණය කරන එක.






ප්‍රශ්නයේ වගකීම සෘජුවම තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයාට.‘‘









ආණ්ඩුවේ සිටින ප්‍රභූන් යැයි කියන පිරිස් මේ ගැන ඇත්ත වසන් කරන්න උත්සහ දරන බව මාධ්‍යවේදියෙතු විමසූ අවස්ථාවේදී ඔහු පැවසුවේ, 





ඒ මම කිව්ව ප්‍රභූන් මේ ආණ්ඩුවෙත් ප්‍රභූන්






‘‘ඒ මම කිව්ව ප්‍රභූන් මේ ආණ්ඩුවෙත් ප්‍රභූන්, ඒක ඔබ හොඳටම දන්නවා මේ දේ කළේ කවුද කියන එක. මම නම් කියන්න බය වෙන්නේ නැහැ. මේ බැරියර් දෙකක් මැද, මහ දවල් ආරක්ෂක ලේකම්වරයා බලයේ ඉන්දැද්දී මේ කරපු ඝාතනය, මට නඩු 24 ක් තියෙනවා මේවා කියලා, නැවතත් නඩුවක් දාගන්න මම කියනවා බොහොම පැහැදිලිව, මේ ඝාතනය අනිවාර්යයෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දන්නවා, මේ ඝාතනය ගැන හොඳටම දන්නවා මහින්ද රාජපක්ෂ මහත්තයා. මොකද බයික් පස්සෙන් එනවා කියලා අන්තිම කෝල් එක අරන් තියෙන්නේ ලසන්ත වික්‍රමතුංග මහත්තමයා - මහින්ද රාජපක්ෂ මහත්තයට.





ලසන්ත සැමරුමේදී





මේකට මම හිත්නනේ නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයට කිසිම වුවමනාවක් තිබුණා කියලා තමුන් ගැන ලියපු, තමුන් එක්ක සටනේ හිටිය, තමුන්ගේ සගයව මරලා දාන්න. මම හිතන්නේ නැහැ මෛත්‍රීපාල සිරිසේන වැඩ බලන, හිටපු ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා හැටියට එතුමට වුවමනාවක් තිබුණා කියලා ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරන්න. ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය ගැන හිතද්දි අපි හිතන්න ඕන ඔහුගෙන් විශාලතම තර්ජනය, ඔහුගෙන් විශාලම විවේචනයට, තර්ජනයට ලක්වූ පුද්ගලයා කවුද කියන එක.






එතකොට ඒ කෑගල්ලේ ඇකියුස් නෙමෙයි. ඔහුගේ විශාලම විවේචනයට ලක්වුණේ වෙනින් කවුරුත් නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. එතුමා ගල්කිස්සේ උසාවියට යද්දි වාහනේ දාන්න දුන්නේ නැහැ ඇතුළට අනිත් අයට. වෙනම වාහනේ අරගෙන ලසන්ත වික්‍රමතුංග ලොකු නඩුවක් දාලා වන්දියකුත් ඉල්ලුවා.






ඒ හින්දා මේකට සෘජුවම සම්බන්ධ ජමාල් කෂෝගිගේ මිනීමරුවා කවුද කියලා අපි දන්නවා වගේම මේ මිනීමැරුම කළේ වෙනින් කවුරුත් නෙමෙයි, ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. ඕන නම් නඩු දාන්න, අපි නඩුවට එන්නම්.‘‘






හමුදා බුද්ධි අංශ මෙය කළ බව රහස් පොලීසිය හෙළිදරව් කරගෙන තිබෙන පසුබිමක එවක හමුදාපතිවරයා වූ සරත් ෆොන්සේකා මේ ගැන දැනුවත් වී සිටිය නොහැකිදැයි මාධ්‍යවේදීන් විමසූ විට රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දැක්වූවේ






‘හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහත්මයා මේකට සම්බන්ධ නම් ඒක හොඳ නිමිත්තක්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාට ඔහු ප්‍රෙසිඩන්ෂල් කැන්ඩිඩේට් විදියට ඉල්ලද්දි මේක දාලා ඒක ඉවර කරලා, එතකොට ලයිෆ් ටයිම් ඉවර කරලා දාන්න. මං හිතන්නේ නැහැ ඒක සාර්ථක යෝජනාවක් කියලා. මට හරියටම කියන්න බැහැ ඔහුගේ 5% - 10 % ක වත් සම්බන්ධයක් නැහැ කියලා මට හරියටම කියන්න බැහැ. මොකද ඔහුත් වගකිවයුතුයි, මොකද හිටපු හමුදාපතිට හොරෙන් බැරියර් දෙකක් මැද එහෙම දෙයක් වෙන්නට බැහැ, නමුත්, ලසන්තට සෘජුවම ගැහුවේ මිග් යානා ගනුදෙනුවට. ඒ හින්දා මං හිතන්නේ වැඩිම වුවමනාව තිබුණේ, මේ විතරක් නෙමෙයි මාධ්‍යවේදීන් 26 දෙනෙක් ඝාතනය වුණා. ඒවට සෘජුව හෝ වක්‍රාකාරයෙන් සම්බන්ධයි, නමුත්, ඕන නම් නඩු දාන්න ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරන්න සෘජුවම සම්බන්ධ වුණේ හිටපු ආරක්ෂක ලේකම්, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියන එක මං පැහැදිලිව කියනවා. ඒක ලංකාවේ බහුතරයක් ජනතාව පිළිගන්නවා‘‘ යන්නයි.

























ඡායාරූප - ඉෂාර කොඩිකාර













සත්‍යා